*


හොරොව්පතාන , අඹගස්වැව දහම් සිසිලෙන් ඇළලෙයි

*
හොරොව්පතාන , අඹගස්වැව රජ මහා විහාරයට ඊයේ (17) ඓතිහාසික දිනයක් විය. දශක කිහිපයකට පසුව ප්‍රතිසංස්කරණය කළ චෛත්‍යට කොත් පැළඳවීමේ පිංකම හා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ගේ අංකුරයක් රෝපණය කිරීම ඊට හේතුව යි. සැදැහැති ජනයා රැස් කමින් විහාර භූමියට පැමිණියේ සිය විහාරස්ථානයට මෙන්ම ගම්මානයට ලැබුණු මේ ගුණාභරණයන් දැක බලා ගැනීමේ මා හැඟ උනන්දුව සමඟිනි. අනතුරුව සියල්ල පූර්ණ වූ උත්සවයකි.

අනුරාධපුර මහ දිසාපති ආර්.එම් .වන්නිනායක මහතා මීට වසරකට පෙර පුවතපතක් කියවද්දී අඹගස්වැව පුරාණ රජ මහා විහාරයේ ගරා වැටෙමින් ඇති දැගැබක් පිළිබඳ පුවත දුටුවේ ය. සැනින් ක්‍රියාත්මක වූ එතුමා දිස්ත්‍රික් මාධ්‍ය ඒකකයට දැනුම් දුන්නේ මෙය මධ්‍යම සංස්කෘතික අරමුදලට දැනුම් දිය යුතු බවයි. එලෙස ඇරඹි කටයුත්ත අති සාර්ථක ගමනක් පැමිණියේ කාගේත් උනන්දුව මත යි. මධ්‍යම සංස්කෘතික අරමුදලේ නිලධාරීන් මේ සඳහා කළ කැප කිරීම අතිශය අගය කීරීම වැදගත් වේ.

ත්‍රස්ත තර්ජන වලට කලක් තිස්සේ මුහුණ දුන් අඹගස්වැව ජනයා එයින් දැඩි පීඩා වින්ද හ. එහෙත් මෙම විහාරස්ථානයේ වැඩ විසූ පූජ්‍ය අඹගස්වැවේ ඉන්දරතන නායක හිමිපාණන් මේ ජනයා හැර ගියේ නැත. ඉතා අවංකවත් , ජනතා හිතකාමීවත් ධෛර්යයෙන් කටයුතු කර තිබේ. උන්වහන්සේ ගේ අධිෂ්ඨන බලයේ ප්‍රතිඵල වර්තමනාය වන විට ලැබී තිබෙන්නේ සතරපේරුවේ ජනතාවටයි. එම ජනී ජනයා ඉන්දරතන නායක හිමියන්ට දක්වන ගෞරවයේ තරමින් ම ඒ බැව් සනාථ වේ.

ආරම්භ කළේ චෛත්‍ය ප්‍රතිසංස්කරණ කටයුත පමණි. නමුත් වැඩ අවසන් වන විට අලුතින් ධර්ම ශාලාවක් ද ඉදිවිණි. ඒ සඳහා ලක්ෂ විස්සක මුදලක් රජය වැය කර තිබේ. ශ්‍රී මහා බෝධින් වහන්සේ ගේ අංකුරයක් රෝපණය කිරීම ද අගනා වාසනාවකි.

සුබ නැකැතින් කොත් පැළඳවීමේ මංගල්‍යය ඇරඹිණි. ප්‍රබෝධයෙන් ඔද වැඩි බාල මහළු කවුරුත් නොනවත්වා සාදු නාද නැන්වී ය. ඒ සාදු නාද ද ,පිරිත් සජ්ඣායනා ද කැටුව නැගි අධ්‍යාත්ම සුවඳ බුද්ධාලම්භනය දෙගුණ තෙගුණ කළේ ය. අටමස්ථානාධිපති , උතුරු මධ්‍යම දෙදිසාවේ ප්‍රධාන සංඝනායක , ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නායක හිමිපාණන් වහන්සේගේ වැඩමවීම ඔස්සේ උත්සවය තවත් ආලෝකවත් විය. ලංකාරාමාධිකාරී උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන අධීකරණ සංඝනායක රළපනාවේ ධම්මජෝති නායක හිමියෝ කළ අනුශාසනය, අඹගස්වැව විහාරාධිපති පූජ්‍ය අඹගස්වැවේ ඉන්දරතන නායක හිමියන් පිළිබඳව තව තවත් දැනගන්නට මාවතක් විය. උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය නුගේතැන්නේ පඤ්ඤානන්ද හිමියෝ මෙන්ම අටමස්ථාන විහාර වාසි නායක හිමියෝ ද ඇතුළු මහා සංඝරත්නයේ ආශිර්වාද මැද කොත් පැළඳවී ය.

පසුව ශ්‍රී මහා බෝධීන් වහන්සේ ගේ අංකුරය රෝපණය කරන ලද්දේ අටමස්ථානාධිපති නායක හිමියන්ගේ මූලිකත්වයෙනි. මෙම පුණ්‍ය කටයුතු සම්භාරයෙහි ආරම්භක අඩිතාලම දැමූ අනුරාධපුර මහ දිසාපති ආර්.එම්. වන්නිනායක මහතා , මධ්‍යම සංස්කෘතික අරමුදලේ උතුරුමැද පලාත් සහකාර අධ්‍යක්ෂ නීතීඥ සජීව ගුණරත්න , යන මහත්වරුන් මෙන්ම මධ්‍යම සංස්කෘතික අරමුදලේ තවත් නිලධාරීන් රැසක් මේ අවස්ථාවට එක් විය.

දිසාපතිතුමා ගෙන් පටන් ගෙන බෞද්ධ කටයුතු සමායෝජක දක්වා විවිධ නිලධාරීන්ගේ කැප කිරීමත් , මහා සංඝරත්නයේ ආශිර්වාදයත් පෙරටුව දැන් හොරොව්පතාන අඹගස්වැව ජනතාවට අධ්‍යාත්මයේ නව එළි දැල්වී තිබේ. ඒ සතුට සතරපේරුවේ ජනයාට පමණක් නොව උත්සවයට එක් වූ සියලු පාර්ශවයන්ගේ මුහුණු මත පිපී තිබිණි.

සියල්ල නිසිව හදුනා ගනිමින් , නිසි අය එක්කාසු වෙමින් , අරමුණු පෙර දැරිව කටයුතු කිරීම ඔස්සේ කල් නෑර සියල්ල ජය ගත හැකි බව මේ පුණ්‍ය උත්සවය ඔස්සේ ආදර්ශවත්ව සමාජයට සැලකර තිබේ. එනයින් මෙය සැමට පූර්වාදර්ශයක් වේවා.



තව කියවන්න