*


සටහන් පෙළ ගැස්ම පිටු අංක 02

නිදහස් දිනයේ අනුරාධපුර ජුම්මා මහ පල්ලියේ දී පැවැති ලේ දන් දීමේ කඳවුර

ශ්‍රී ලාංකේය ජාතියක් හැටියට ජාති භේද අතහැර මෙරට අනන්‍යතාවත් ලබාගත් නිදහසත් ආරක්ෂා කිරීමේ යුතුකම හා වගකීම ශ්‍රී ලංකාවේ වෙසෙන සෑම ජන වර්ගයකට ම පැවරී ඇතැයි අනුරාධපුර මහ දිසාපති නීතීඥ ආර්.එම් වන්නිනායක මහතා පැවැසී ය. හැත්තෑ එක්වන ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව අනුරාධපුර ජුම්මා මස්ජිද් මහ පල්ලියේ දී අද පැවැති ලේ දන් දීමේ වැඩසටහනට එක්වෙමින් දිසාපතිතුමා මෙලෙස අදහස් දැක්වී ය.

ලේ ලබා ගැනීම සඳහා පැමිණ සිටියේ වවුනියාව මහ ‍රෝහලේ දෙමළ ජාතික වෛද්‍ය වරු හා හෙදියන් පිරිසකි. ලේ දන් දීම සඳහා සිංහල ජාතිකයින් විශාල පිරිසක් ද පැමිණ සිටිනු දක්නට ලැබුණි. වැඩසටහන සංවිධානය කළේ මුස්ලිම් ජාතිකයින් ය. එය සියලු ජාතීන් අතර සහජීවනය පුබුදන සංකේතයක් සේ ඇඟයීමට හැකි බව අනුරාධපුර මහ දිසාපතිතුමාගේ අදහසයි.

අනුරාධපුර නගරය තුල සිංහල දෙමළ ,මුස්ලිම් යන ජන වර්ග තුනම ජීවත් වේ. එමෙන්ම ඔවුන් අතර අතිශය සමීප බැඳීමක් ද පවතී. එම සහජීවන ගුණාංගය මුළු රටට ම අදර්ශයක් මෙම නිදහස් දිනයේ දී සටහන් කිරීම ඉතා වැදගත් බව ජුම්මා මුස්ලිම් පල්ලියේ ප්‍රධාන මව්ලවි තුමන් විසින් සඳහන් කරන ලදි. එතුමා වැඩිදුරටත් සඳහන් කළේ අනුරාධපුර මුස්ලිම් පල්ලියකින් මෙබදු වැඩසටහන් ක්‍රියාත්මක කළේ ප්‍රථම වරට බවයි. පෙරවරු 9.00 සිට පස්වරු 3.30 දක්වා පැවැති මෙම ලේ දන් දීමේ කඳවුරට විශාල පිරිසක් සහභාගී විය.

 ලේ දන් දීම අවසානයේ අනුරාධපුර මහ දිසාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සුහද සාකච්ඡාවක්ද පැවැත්විණි.


අනුරාධපුර දිස්ත්‍රික් පරිසර සමුළුව අති ගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ලබන 14 වන දා......

අනුරාධපුර දිස්ත්‍රික් පරිසර.අතිගරු ජනාධිපතිතුමාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක වන “පුනරුදයපරිසර සංරක්ෂණ ජාතික වැඩසටහනේ අනුරාධපුර දිස්ත්‍රික් පරිසර සමුළුව  අති ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2019 පෙබරවාරී 14 දින අනුරාධපුර මහජන ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතව ඇත. මේ පිළිබද විශේෂ සාකච්ඡාවක් ඊයේ  (2019.02.07) අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ප්‍රධාන ශ්‍රවනාගාරයේදී පැවැත්විණ

නීල හරිත යුගයක් , සංකල්පය කේන්ද්‍ර කරගනිමින් පරිසර සංරක්ෂණයේ වැදගත්කම පිළිබඳව ජනතාව දැනුවත් කිරීම හා පරිසරය ආරක්ෂා කිරීමට ජනතාව යොමු කිරීම අරමුණු කරගෙන මෙම දිස්ත්‍රික් පරිසර සමුළුව පැවැත්වේ. දිස්ත්‍රික්කයේ පවතින පරිසර ගැටළු හදුනාගෙන ඒවාට විසදුම් ලබාදීමේ වැඩපිළිවෙල සමුළුවට සමගාමීව සිදුකෙර්.

සමුළුව පැවැත්වෙන්නේ අනුරාධපුර මහජන ක්‍රීඩාංගනයේ දී ය. ඒ සඳහා මහා සංඝ රත්නය , රාජ්‍ය නිලධාරීන් , දිස්ත්‍රික්කයේ දේශපාලන අධිකාරිය , පරිසර සංවිධාන නියෝජිතයින් , ගොවි නියෝජිතයින් ඇතුළු පන්දහසක පමණ පිරිසක් සහභාගී වීමට නියමිත බව අනුරාධපුර දිසාපති නීතීඥ ආර්.එම් .වන්නිනායක මහතා සඳහන් කළේ ය. 

පරිසර නියමුවන් 400 ක් ද සහිත පාසල් දරුවන් 800ක් සංඛ්‍යාවක් මෙම සමුළුවට සහභාගී කරවීමට තීරණය කර තිබේ. එදිනට අතිගරු ජනාධිපතිතුමා අතින් පැළ සිටුවීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.

ජාත්‍යන්තර කාන්තා දින ජාතික උත්සවය මෙවර අනුරාධපුරයේ දී

ජාත්‍යන්තර කාන්තා දින ජාතික උත්සවය අනුරාධපුරය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගෙන පැවැත්වීමට කටයුතු යොදා තිබේ.  ඒ පිළිබද විශේෂ සාකච්ඡාවක් ඊයේ  (2019.02.07) අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ප්‍රධාන ශ්‍රවනාගාරයේදී පැවැත්විණ.

මෙවර කාන්තා දින තේමාව වන්නේ “ සුහුරු කතක්  - සොඳුරු ලොවක් යන්නයි. අනුරාධපුර මහජන ක්‍රීඩාංගනය උත්සවය පැවැත්වීම සඳහා තෝරාගෙන ඇති අතර මාර්තු 06 වනදා සිට 08 වනදා දක්වා වැඩසටහන් පැවැත්වේ. මාර්තු 01 වනදා කොළඹ දී ජාතික කාන්තා කමිටුව මගින් පා ගමනක් ද සංවිධානය කර ඇතැයිළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සුසීමා විජේසේකර මහත්මිය පැවසුවා ය.
 කාන්තා හිංසනය පිටුදැකීම පිළිබඳව ස්ටිකර් , පෝස්ටර් , විරිදු හා විදි නාට්‍ය  හරහා ජනතාව දැනුවත් කිරීම මාර්තු මස 06 වනදා දවස පුරා අනුරාධපුර නගරයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත. ස්වයං රැකියා වල නිරත කාන්තාවන්ගේ නිෂ්පාදන ඇතුලත් නිෂ්පාදන අලෙවි පොළ විවෘත කරන්නේ මාර්තු 07 වනදායි. එය අට වනදා දක්වා පැවැත්වේ.  එදින සවස යුධ හමුදාව විසින් විශේෂ සන්දර්ශනයක් ද පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි , අනුරාධපුර දිසාපති නීතීඥ ආර්.එම්.වන්නිනායක මහතා සඳහන් කළේ ය. 





අනුරාධපුර අලි මිනිස් අවුලට විසඳුම් සොයා

පරිසර පද්ධති සරක්ෂණය හා කළමනාකරණය සම්බන්ධව ඇස් ඇරී තිබේ. . ලෝක බැංකු ආධාර යටතේ පරිසර පද්ධති සංරක්ෂණ හා කළමනාකරණ ව්‍යාපෘතිය ආරම්භ කලේ ද මේ උදෙසා ය. පසු අවුරුදු ව්‍යාපෘතියක් හැටියට 2017 වසරේ දී අරඹන ලද මෙම ව්‍යාපෘතිය 2022 වසරේ දී අවසන් වීමට නියමිතයි. මෙම වැඩ සටහනේ එක් විශේෂ ක්ෂේත්‍රයකි, අලි මිනිස් ගැටුම අවම කිරීම. ඒ සඳහා පළමු අදියර ලෙස  අලි මිනිස් ගැටුම බහුලව පවතින දිස්ත්‍රික්ක දෙකක් වන අනුරාධපුරය හා කුරුණෑගල දිස්ත්‍රික්ක තෝරාගෙන තිබේ.

අලි මිනිස් ගැටුම මේ රට තුල දැන් ජනප්‍රිය මාතෘකාවකි. එමෙන්ම 2018  වසරේ පමණක් සමස්ත ශ්‍රී ලංකාවෙන්ම වාර්තා වූ අලි මරණ සංඛ්‍යාව 311 කි. එය ප්‍රතිශතයක් ලෙස ගණන් බැලූ විට එයින් සියයට 42 ක්  වාර්තා වන්නේ අනුරාධපුර හා පොලොන්නරුව දිස්ත්‍රික්ක වලිනි. එය සමස්ත ශ්‍රීලංකාවේ ම එම වසරේ සිදු වූ අලි මරණ වලින් හරි අඩකට ආසන්න තත්ත්වයකි.  උතුරු මැද පලාතේ ඇති අලි මිනිස් ගැටුවේ උග්‍ර බව මෙයින්ම ගම්‍ය වේ. මිනිස් මරණ වලින් ද  සියයට 40 ක් පමණ 2018 වසරේ දී මෙම පලාතෙන් වාර්තා විය.

එමෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කයේ පමණක් පසුගිය වසර පහේ දී වාර්තා වූ අලි මරණ සංඛ්‍යාව 191 කි. ගැටුම නිසා මිනිස් මරණ ද 53 ක් පසුගිය වසර පහේ දී වාර්තා විය. නැගෙනහිර නුවරගම් පලාත හා රාජාංගනය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨස දෙක හැරුණු කොට දිස්ත්‍රික්කයේ අනෙක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස විස්ස තුලම අලි මිනිස් ගැටුම උග්‍රව පවතී, දිස්ත්‍රික්කයේ වන වැස්ම සියයට 35 ක පමණ ප්‍රමාණයක පැවතියත් , එම ප්‍රමාණය අලින්ගේ වාසයට  ප්‍රමාණවත් නැත. එමෙන්ම එම වනාන්තර තුල ජල මුලාශ්‍ර අවම වීමත් , ආහාර හිඟයත් , ආක්‍රමණික ශාක වැවීමත් , යානාදී කරුණු නිසා අලින්ට ජීවත් වීමට සුදුසු පරිසරය ඇත්තේ අඩු මට්ටමකයි. විල්පත්තුව හැරුණු කොට පවතින අනෙක් වනාන්තර එතරම් විශාල ඒවා නොවේ. ඒ අතරතුර රජයේ සංවර්ධන කටයුතු සඳහා හෙලිකරීම් මෙන්ම ජනතාවගේ ඉඩම් පරිහරණය ශීඝ්‍රවීමත් යන කාරුණු හේතුවෙන් ද වන අලි උවදුර උග්‍ර වී තිබෙන බව අනුරධපුර වනජීවි සහකාර අධ්‍යක්ෂ ඩබ්ලිව්. ඒ. සරත් මහතා 2019/02/15  දින දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී පැවැසී ය.

මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශයත් , වනජීවී අමාත්‍යංශයත් එක්ව සිදුකරන පරිසර පද්ධිති සංරක්ෂණ හා කළමනාකරණ ව්‍යාපෘතියේ අලි - මිනිස් ගැටුම සම්බන්ධ ක්‍රියාවලිය අනුරාධපුර දිස්ත්‍රික්කයේ ආරම්භ කරන්නේ දිස්ත්‍රික්කයේ පවතින ඉහත දැක් වූ පසුබිම තුලයි. එය කාලෝචිත තීන්දුවකි. මන්ද දිස්ත්‍රික්කයේ පවතින මෙම ගැටුම මැඩීමට මෙතෙක් ගත් කිසිදු ක්‍රියාමාර්ගයක සාර්ථක ප්‍රතිඵලයක් දක්නට ලැබී නැත. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා නිලධාරීන් දැනුවත් කිරීමට පැවැති සාකච්ඡාවේ දී අනුරාධපුර  දිසාපති නීතීඥ ආර්.එම්. වන්නිනායක මහතා ද ඒ බව අවධාරණය  කලේ ය.




 “ නව ව්‍යාපෘති නිසා සතුන්ට සිය නිජ බිම් අහිමි වෙනවා . සමහර ව්‍යාපෘති සැලසුම් සහගතව ක්‍රියාත්මක නොකිරීම මේකට ගැටළුවක්. ඒ වගේම ජනාවාස ආරම්භ කිරීම , අනවසර අල්ලා ගැනීම් , වන්නාත්ර විනාශය වැනි සාධක නිසා දැන් වන අලි උවදුර උග්‍ර වෙලා. අලි ඒ කාලෙ කලේ  මිනිස්සු දැක්කම මගහැරල යන එක. දැන් මිනිස්සු දැක්කම එලව එලවා පහර දෙනවා. අලි මිනිස් ගැටුම මඩින්න ගත්ත බොහෝ ක්‍රියාමාර්ග වලින් සාර්ථක ප්‍රතිඵල අත්වෙලා නෑ. 

මෙසේ කී දිසාපතිතුමා පැමිණි නිලධාරීන් හමුවේ අවධාරණය කලේ , මින් ඉදිරියට ගන්නා ක්‍රියාමාර්ග සාර්ථක කරගැනීමට පූර්ණ සහය පලකරන බවයි.

විදුලි වැට ඉදි කීරීම , ජීව වැට සංකල්පය , වනාත්තර වැවීම , පවතින වනාන්තර ආරක්ෂා කිරීම ,  ගැටුම බහුලව පවතින ප්‍රදේශවල අලින්ගෙන් හානි නොවන බෝග වගා කිරීම , වන අලි පුනරුත්ථාපන මධ්‍යස්ථාන ඉදිකිරීම ආදී බොහෝ ක්‍රියාමාර්ග මෙම ගැටමු මඩීම සඳහා රැගෙන ඇතත් , ඒවාගේ කාර්යක්ෂමතාව මෙන්ම  පසු විපරම් පිළිබඳව ගැටලු තිබේ. 

වන අලි ගැටුම උග්‍ර වීමත් සමඟ එයින්  පීඩාවට පත්වන ජනතාව තුවක්කු ඉල්ලීමේ ප්‍රවණතාව වැඩි වී තිබේ. වගා ආරක්ෂා කරන්නට යැයි මෙසේ ගිනි අවි ඉල්ලා සිටින්නේ අලි උවදුර පදනම් කරගෙන ය. නමුත් එම ඉල්ලීම ඉටු කිරීම පහසු නැත. එමෙන්ම එය විසඳුමක් ද නොවේ.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ වන අලි උවදුර මැඩීම සඳහා ඇති කෙටි කාලීන විසඳුම් අතර විදුලි වැට ඉදි කිරීම ප්‍රමුඛ ය. එය ගම්මාන වටකර , වගාවන් වටකර , ආදී වශයෙන් ඉදි කිරීමට අලුතින් යෝජනා වී තිබේ. ඒ කවර ආකරයකට ඉදි කළත් ඒවා නිසි ප්‍රමිතියට ඉදිකළ යුතු මෙන්ම නිසි නඩත්තුවක් ද විය යුතුයි. ඒ අතරතුර දී දීර්ඝ කාලීන විසඳුම් වශයෙන් වනාන්තර වැවීම කළ යුතුයි. එමෙන්ම ජනතාවගේ ආකල්පමය වෙනසක් ඇති කීරීම ද අවශ්‍ය වේ. එය ද දීර්ඝ කාලීනව සිදුකළ යුත්තකි. නමුත් නිසි නියාමනයක් නොමැති වුව හොත් ,  මේ කිසිදු ක්‍රියාදාමයකින් සාර්ථක ප්‍රතිඵල අත් වන්නේ නැත. තව තවත් ගැටුම පමණක් උග්‍ර වනු ඇත. මෙම නව වැඩසටහනේ විශේෂ අවධානය යොමුකර ඇත්තේ ද විදුලි වැට ඉදි කිරීම හා ආකල්ප සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමයි. මෙහිදී කාර්යක්ෂම බව , විනිවිද බව , සහයෝගීතාව , ප්‍රජා කේන්ද්‍රීය බව හා ආර්ථික ප්‍රතිලාභ ආදිය පිලිබඳව මනා සැලකිල්ලක් තිබිය යුතුම වේ. එසේ නොවන්නට මෙය ද තවත් එක් ව්‍යාපෘතියක් පමණක් ම වේවි.

නමුත් මෙම අවස්ථාවට පැමිණි වනජීවී අමාත්‍යංශයේ ලේකම් එස්.හෙට්ටආරච්චි මහතා , මහවැලි හා පරිසර අමාත්‍යංශයේ අතිරේක ලේකම් මාපා පතිරණ මහතා  මෙන්ම ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ ජී.එම්. අනුර ද සිල්වා වැනි වග කිව යුතු නිලධාරීන් විසින් අවධාරණය කළේ, මෙම ව්‍යාපෘතිය 2022 වන විට සාර්ථක ව්‍යාපෘතියක් ලෙස අවසන් කිරීම ඔවුන්ගේ බලාපොරොත්තුව බවයි. වනජීවී, වන සංරක්ෂණ , ඉඩම් වැනි ක්ෂේතු වල නිලධාරීන් , ප්‍රාදේශීය ලේකම් වරුන් ඇතුළු පිරිසක් මෙම මුලික සාකච්ඡාවට එක්ව සිටියා.





සංස්කෘතිය සරු කිරීමට අනුරාධපුර කලාකරුවෝ එකතුවෙති.
කෑව තමයි , එස කෑවට මොකද වුණේ...
ඇන්දා තමයි, සළු ඇන්දට මොකද වුණේ. ...
බැන්දා තමයි ,රන් බැන්දට මොකද වුණේ...
ලන්දේ තමයි අවසන් නින්දට යන්නේ ....

සංසාරයේ නිස්සාර බව පසක් කරන කවියකින්අනුරාධපුර සංස්කෘතික බල මණ්ඩල රැස්වීම ඇරඹිණ. දිස්ත්‍රික් සංස්කෘතික බල මණ්ඩලයෙන් කලාකරුවන් සඳහා ලබාදෙන සහන පිළිබඳව දිස්ත්‍රික් සංස්කෘතික නිලධාරීවරයා විසින් පැහැදිලි කරන ලදි. ඉන් පසුව කලාකරුවන්ගේ අදහස් එකින් එක මතුවන්නට විය. ඔවුන් සියලුදෙනාගේ පොදු මතය වූයේ , සංස්කෘතික අනන්‍යතා අනාගතයට සුරක්ෂා කිරීම තුලින් රටේ සංවර්ධනයට පදනමක් සැකසෙන්නේ ය , යන්නයි. ඒ බව ඇතැමෙක් හිටිවන කවියෙන් ගැයුවේ ය. තවත් අයෙක් කතා ලෙස කීය. කලාකරුවන් නිසාම ඔවුන් විදින සැහැල්ලුවත් , අනෙක් අතින් සංස්කෘතිය කෘත්‍රීමව වෙනස් වීම දරාගත නොහැකිව ඔවුන් තුල ඇතිව තිබෙන කම්පනයත් යන දෙයංශයම මෙම කවි කතා වලින් මතුව අවේ , නිරායාසයෙනි.

සමාජයක පවතින සමස්තය සංස්කෘතිය යි. ඒ නිසාම සංස්කෘතියෙන් බැහැරව කිසිවක් කතා කිරීම සඵලදායී නොවේ. ඒ ඒ සමාජයේ ජනයා ඉගෙන එක්රැස් කරගත් දේ පරම්පරාවෙන් පරම්පරාවට රැගෙන යාම අතිශය මහෝපකාරී ය. නවීකරණයට අවශ්‍ය අවේණික ක්‍රම පද්ධතිය තැන්පත්ව ඇත්තේ සංස්කෘතිය තුල වීම ඊට හේතුවයි. ඒ අන්තයෙන් සිතූ විට හර සංස්කෘතිය සුරක්ෂා කිරීමේ වැර වෑයම උදෙසා සංස්කෘතික බල මණ්ඩල වලට ද මහඟු කාර්යභාරයක් තිබේ. එබැව් වටහා ගත් බවක් පෙන්වන සාර සුබාවක් අනුරාධපුර සංස්කෘතික බලමණ්ඩල හමුවේ දී උස්ව පෙණින.




සාමාජිකයකු විසින් ඉදිරිපත් කළ , විශේෂ අදහසක් වූයේ සාම්ප්‍රදායික කලාවන් ඉගැන්වීම උදෙසා පාසල් තුල අවස්ථාව ලබා ගත හැකි වාතාවරණයක් සැකසිය හැකිනම් එය  කාලෝචිත බවයි. ඔවුන් එම යෝජනාව කළේ , ඉගැන්වීමට අදාල මුදලක් බලාපොරොත්තුවෙන් නොවේ. තම තමන් දන්නා ශිල්පය දැයේ දරුවන්ට ලබා දීමේ නිස්සරණාධ්‍යාශ අභිලාසයකිනි.

 දිස්ත්‍රික් සංස්කෘතික බලමණ්ඩලයේ සභාපති , අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් නීතීඥ ආර්.එම්. වන්නිනායක මහතා ද කතා කළේ ය. එතුමා ද සඳහන් කළේ , පවතින සමාජ වතාවරණය හමුවේ ,  ඉදිරි පරම්පරාව තුල සාර්ථකත්වයක් ඇතිවීමේ ඉඩකඩ නොපවතින බවයි. වත්මන් ඉගෙනුම් රටාවේ ස්වභාවය අනුව ළමයින්ට ළමා ලෝකයක් නැත. එවිට ඔවුන්ට රසවින්දනයක් උපදින්නේ ද නැත. දරුවකු කුඩා කළ උඛහා ගන්නා දේ මුළු ජීවිත කාලය තුලම පවත්වා ගනී. එහෙත් වර්තමාන සමාජයේ ජීවත් වන දරුවාගේ කුඩා කළ හැඩගැසීම විවේක බුද්ධියකින් තොර එකක් වීම ඔස්සේ අනාගතයේ දී සමාජ ගැටළු රැසක් මතු වීමේ ඉඩ කඩ පවතින බව ද දිස්ත්‍රික් ලේකම්වරයා පෙන්වා දුන්නේ ය. ළමුන් මනා තත්ත්වයකට හැඩගැසීමට නම් කීයවීම අනිවාර්ය බව ද අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්වරයාගේ අදහසයි. දිස්ත්‍රික් කලාකරුවන්ගේ කටයුතු සඳහා පූර්ණ සහය ලබා මට ද දිසාපතිවරයා පොරොන්දු විය. 


බලමණ්ඩල රැස්වීමට සමගාමීව ප්‍රාදේශීය ලේකම් කාර්යාල පුස්තකාල සඳහා පොත් කට්ටල ප්‍රදානයක් ද සිදුවිය. 2019 වසරේ දී රාජ්‍ය සම්මානයට පාත්‍ර වූ ගුවන්විදුලි නිවේදිකා ලිලී වඩුගේ කලාකාරිනිය ඇගයීම ද විශේෂත්වයක්. කලාකරු හැඳුනුම්පත් නොමැති කලාකරුවන් දස දෙනෙකුට එම හැඳුනුම්පත් ද ප්‍රදානය කෙරිණ.

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ හා සංස්කෘතික අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් ප්‍රාදේශීය මට්ටමේ සිටින කලාකරුවන් සඳහා රක්ෂණ ක්‍රම , වෛද්‍යාධාර ව්‍යාපෘති , කතුවරුන්ගෙන් පොත් මිළ දී ගැනීම් ඇතුළු වරප්‍රසාද රැසක් පිරි නැමේ.

දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති මෙම සංස්කෘතික බලමණ්ඩල රැස්වීම සංවිධානය කළේ, දිස්ත්‍රික් සංස්කෘතික අංශය මගිනි.


අපනයන සංවර්ධනයට අපූරු අත්වැලක් වූ උතුරු මැද පලාත් ව්‍යවසායක සමුළුව (2019.02.22)

උතුරුමැද පලාත්  ව්‍යවසායක සමුළුව අද (22) දවස පුරා අනුරාධපුරයේ දී   පැවැත්විණ. එහි මුලික අරමුණ වුයේ පලාතේ ව්‍යවසායකයින් මුහුණ දෙන ගැටළු හඳුනා ගැනීමයි. .  එසේම අපනයන සංවර්ධන මණ්ඩලයෙන් ව්‍යවසායකයින්ට ලබාදිය හැකි අත්වැල පිළිබඳව ද  එහිදී සාකච්ඡා විය. සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළද කටයුත පිළිබඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා සමුළුවේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි විය.

නව අපනයනකරුවන් 2000 ක් පුහුණු කිරීමේ ජාතික වැඩසටහන යටතේ මෙලෙස ව්‍යාපාරික සමුළු රට පුරා පැවැත්වේ. වසර 2022 දී ඇමරිකානු ඩොලර් බිලියන 28 ක අපනයන ඉලක්කයක් සපයා ගැනීම රජයේ අරමුණයි.

මෙම ව්‍යාපාරික සමුළුව සඳහා පලාතේ ව්‍යවසායකයින් 500 කට අධික පිරිසක් එක්ව සිටිය හ. ඔවුන් අතරින් බොහෝ දෙනෙකු විසින් තමන්ට ඇති ව්‍යාපාරික ගැටලු ඉදිරිපත් කරන ලදි. රාජ්‍ය ආයතන ප්‍රධානීන් හා දේශපාලන අධිකාරිය එම ගැටලු වලට අවශ්‍ය විසඳුම් පිලිබඳව යෝජනා ඉදිරිපත් කලහ. මෙලෙස ව්‍යාපාරිකයින්ට සෘජුව සිය  අදහස් දැක්වීමට අවස්ථාව උදා වුයේ පළමු වරට බව පැමිණි ව්‍යාපාරිකයින් විසින් සදහන් කරන ලදි. ඔවුන්ට අනුව මෙම සෘජු සංවාදය ඔවුන්ට මහා ශක්තියක් විය. උතුරමැද පලාත් ඇතැම් නිෂ්පාදන ක්‍රියාවලීන් පිළිබඳව හදුනා ගත්තේ ද එදිනයි. අපනයන නිෂ්පාදන සඳහා යොදා ගන්නා මහා පරිමාණයෙන් සිදු කෙරෙන  මුරුංගා හා කරපිංචා වගාවන් ගැන ද එහිදී හදුනා ගැනීමට හැකිවිය.

ව්‍යාවසායකයින්ට රාජ්‍ය අංශයෙන් ලබාදිය හැකි ණය ආධාර හා වෙනත් සහන ගැන කතා කළේ ය. විදේශ ගැනුම් කරුවන් සමඟ සම්බන්ධ කරවීම , අධ්‍යයන චාරිකා , අවස්ථා ගැන ද දැනුවත් කෙරිණ. උතුරුමැද පලාත තුල විශේෂයෙන් හඳුනාගත් නිෂ්පාදන හැටියට එළවළු , පළතුරු , සකස් කළ ආහාර වර්ග , කුළුබඩු , විසිතුරු භාණ්ඩ, තෑගී හා අත්කම් භාණ්ඩ , ආයුර්වේද ඖෂධ ආදිය සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමට මෙහිදී පරිසරය නිර්මාණය විය.

ව්‍යවසායක සමුළුවට සමගාමීව ව්‍යවසායක නිෂ්පාදන ප්‍රදර්ශනයක් ද සංවිධානය කර තිබුණි. උතුරුමැද පලාතේ ව්‍යවසායක නිෂ්පාදන ප්‍රදර්ශනය කිරීමත්, රාජ්‍ය ආයතන සේවාවන් පිළිබඳව දැනුවත් කිරීමත් එහිදී සිදු විය. ව්‍යවසායක උපදේශක සම්මන්ත්‍රණ ද දිනය පුරා ක්‍රියාත්මක කළේ ය. ප්‍රදර්ශනය නැරඹීම සඳහා පාසල් දරුවන් , ඇතුළු විශාල පිරිසක් පැමිණීම ද විශේෂත්වයක්.


සමුළුවට එක් වූ සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා කියා සිටියේ, රජය ව්‍යවසායකයින්ගේ අවශ්‍යතා හදුනාගනිමින් කටයුතු කරන බවයි. ජනමාධ්‍යයෙන් සංවර්ධන ක්‍රියාදාමය පිලිබඳව විශේෂ අවධානයක් දී කටයුතු කිරීමේ අවශ්‍යතාව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය. සෑම කෙනෙකුට ම රජයේ රැකියා ලබාදීම කළ නොහැකි බවත් , එම නිසා ව්‍යවසායකයින් ලෙස ඉදිරියට ඒම ඉතා කාලෝචිත බවත් ප්‍රකාශ කලේ , ළමා ,කාන්තා හා වියළිකලාපීය  සංවර්ධන අමාත්‍ය චන්ද්‍රානී බණ්ඩාර මැතිනිය විසිනි.

මෙවැනි ව්‍යවසායක සමුළුවක් උතුරුමැද පලාතේ පැවැත් වූ පළමු අවස්ථාව මෙය බව සමුළුව අමතා කතා කරමින් අමාත්‍ය පී.හැරිසන් මහතා සඳහන් කළේ ය.අපනයන සංවර්ධන මණ්ඩලය සංවිධානය කළ මෙම සමුළුවට පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක කොලොන්නේ , අනුරාධපුර දිස්ත්‍රික් මහ දිසාපති නීතීඥ ආර්.එම්.වන්නිනායක , අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති ඉන්ද්‍රා මල්වත්ත යන මහත්ම මහත්මීන් මෙන්ම තවත් නිලධාරීන් හා දේශපාලන අධිකාරියේ විශාල පිරිසක් ද එක්ව සිටියා.

m