*


සටහන් පෙළ ගැස්ම පිටු අංක 01

අනුරාධපුර , පලුගස්වැව ග්‍රාම ශක්ති වැඩසටහන පිළිබඳ ප්‍රගති සමාලෝචන රැස්වීමක්.

අතිගරු ජනාධිපතිතුමාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක වන ග්‍රාම ශක්ති විශේෂ සංවර්ධන වැඩසටහන හරහා සංවර්ධනය වන අනුරාධපුර , පලුගස්වැව ප්‍රදේශයේ ප්‍රගතිය විමසීමේ විශේෂ රැස්වීමක් ඊයේ (24) එම ග්‍රාමයේ දී පැවැත්විණ. ඒ දිස්ත්‍රික් මහ දිසාපති නීතීඥ ආර්.එම්. වන්නිනායක මහතාගේ හා ව්‍යාපෘතියේ ජනාධිපති සම්බන්ධීකරණ නිලධාරීන් ගේ ප්‍රධානත්වයෙනි

මීට පෙර අතිගරු ජනාධිපතිවරයා ද මෙම ගම්මානයට පැමිණ ඇති අතර පැවති තත්ත්වයට වඩා විශාල ප්‍රගතියක් ගම තුල දක්නට ඇති බව ප්‍රගති සමාලෝචනයේ දී දිස්ත්‍රික් මහ දිසාපතිවරයා පැවැසි ය. අතිගරු ජනාධිපතිතුමා ඉදිරියේ දී මෙම ගම්මානයට පැමිණීමට ද නියමිතයි

මෙම පලුගස්වැව එප්පාවල ග්‍රාමසේවා වසමේ නිවාස 43 ක් මේ වන විට ඉදිවෙමින් තිබේ. ඒ සඳහා යුධ හමුදාවේ පූර්ණ සහය හිමිව තිබේ. එමෙන්ම තවත් පෙර පාසල් දෙකක් හා සේවා පියසක් ද ඉදිවේ. ප්‍රදේශයේ වැව ද ප්‍රතිසංස්කරණය කිරීමට යෝජිත අතර ජල සම්පාදන මණ්ඩලයේ සහය ඇතිව පානීය ජලය සැපයීමේ වැඩපිළීවෙලක් ද ඉදිරියේ දී ක්‍රියාත්මක වනු ඇති

ජනතා සහභාගීත්ව ක්‍රමවේද ඔස්සේ , ගම් දියුණු කිරීමේ පහසුව පවතින බව මනාව තහවුරු වන ආකාරයේ විශේෂ වැඩ පිළිවෙලක් පලුගස්වැව , එප්පාවල ග්‍රාම සේවා වසමේ ආසිරිගම ගම්මානයේ ක්‍රියාත්මක වෙමින් තිබේ

ග්‍රාම ශක්ති වැඩසටහන යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පමණක් වසම් 66 ක් කේන්ද්‍ර කරගෙන සංවර්ධනය කටයුතු ක්‍රියාත්මක වේ. දිළිඳු ගම්මාන 44 ක් හා නිෂ්පාදන ඉලක්ක කරගත් ගම්මාන 22 ක් වශයෙන් ඒවා වෙන්කර ඇතැයි , දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂ සුගත් නයනානන්ද මහතා පැවැසී ය

පලුගස්වැව ප්‍රාදේශීය ලේකම්වරයා ඇතුළු එම කාර්යාලයේ නිලධාරීන් , ආරක්ෂක අංශවල නිලධාරීන් , ග්‍රාමීය ජනතාව ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා



අනුරාධපුර දිස්ත්‍රික් පරිසර සමුළුව අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ලබන 14 වනදා

අනුරාධපුර දිස්ත්‍රික් පරිසර සමුළුව , අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පෙබරවාරි මස 14 වනදා පැවැත්වීමට කටුයුතු යොදා තිබේ. ඒ පිලිබදව මුලික සාකච්ඡාවක් ඊයේ ( 24 ) අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණ.

මෙහිදී ප්‍රධාන වශයෙන් පරිසර සුරක්ෂාව පිළීබදව මෙන්ම පවතින පරිසර ගැටළු සම්බන්ධයෙන්ය සාකච්ඡා කෙරේ. රැස්වීමට එක් වූ අනුරාධපුර මහ දිසාපති නීතීඥ ආර්. එම්. වන්නිනායක මහතා පැවැසුවේ , පවතින පරිසර ගැටළු වර්ගීකරණයකින් හඳුනා ගැනීම පහසු වන පරිදි විශේෂ කමිටුවක් පත්කළ බවයි.

මෙම අවස්ථාවට එක් වූ නිලධාරීන් තම තමන්ගේ ආයතනයට අනුබද්ධව පවතින විශේෂ පරිසර ගැටළු පිලිබඳව ද මෙහිදී අදහස් ඉදිරිපත් කළේ ය. විදුලි වැට , ජලාශයන් හි පාසි ඉවත් කීරීම , සතුන්ගෙන් දේපළ වලට සිදුවන හානි , දළඹු වසංගතය ආදිය පිළීබදව මෙහි දී විශේෂ අවධානයකට ලක් විය. පරිසර පොලීසියේ මෙන්ම , පාසල් පරිසර භට කණ්ඩායම් වල වැදගත් කම පිළිබදව ද මෙහි දී අවධාරණය විය.

ජනාධිපති සම්බන්ධීකරණ නිලධාරීන් , දිසාපති වරයා සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රධාන පෙලේ නිළධාරීන් රැසක් මේ රැස්වීම සදහා සහභාගී විය.




2019/01/20

වට්ටක්කා මිළ දී ගැනීමේ රජයේ වැඩ පිළිවෙලට සාර්ථක ආරම්භයක්....

වට්ටක්කා සඳහා වන වෙළඳ පොළ මිල පහළ යාමත් සමඟ එම අස්වනු රජයට මිල දී ගැනීමේ වැඩපිළිවෙළක් අනුරධපුරයෙන් අද (20) ආරම්භ කෙරිණ . ඒ කෘෂිකර්ම , වාරි මාර්ග හා ජල සම්පත් කළමනාකරණ, ධීවර , පශු සම්පත් , ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය පී. හැරිසන් මහතාගේ ප්‍රධානත්වයෙනි. වට්ටක්කා රජයට මිල දී ගැනීමේ සමාරම්භක උත්සවය පැවැත්වුණේ , නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසල දී ය.

මහ විලච්චිය , නොච්චියාගම ඇතුළු අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල රැසක ගොවීන් සිය වට්ටක්කා ඵලදාව නිසි මිලකට අලෙවිකරගත නොහැකිව පසුගිය සති කිහිපයේ දැඩි පීඩාවකට පත්විය. දිස්ත්‍රික්කයේ හෙක්ටයාර 1200 කට අධික ප්‍රමාණයක වට්ටක්කා වගා කර තිබේ. අනුරාධපුර මහ දිසාපති නීතීඥ ආර්.එම්. වන්නිනායක මහතා පැවැසුවේ , වට්ටක්කා කිලෝ ග්රෑම් පනස් ලක්ෂයක පමණ ප්‍රමාණයක් විකුණාගත නොහැකිව පවතින බවට වාර්තා වූ බවයි. මෙම තත්ත්වය සලකා වට්ටක්කා මිල දී ගැනීමේ රජයේ වැඩපිළිවෙල විෂය භාර අමාත්‍යවරයාගේ පූර්ණ මැදිහත් වීම යටතේ ආරම්භ කෙරිණ.

ඒ අනුව එක් ගොවියකුගෙන් වට්ටක්කා කිලෝ 1500 ක ප්‍රමාණයක් මිල දී ගැනීමට සැලසුම් කර තිබේ. එහිදී එක් කිලෝවකට රජය නියම කර ඇති මිළ රුපියල් 30 කි. රජය එම මිලට වට්ටක්කා මිල දී ගන්නා විට දී එහි වෙළද පොළ මිල නැවත යථා තත්ත්වයට පත් වීමේ ඉඩකඩ පවතින බව ආරම්භක උත්සවයේ දී කතා කළ අනුරාධපුර මහ දිසාපතිවරයා පැවසී ය.

රජරට ගොවීන් ශක්තිමත් කිරීමේ අරමුණින් ඇරඹි මෙම වැඩ පිළීවෙල ඉදිරියේ දී අනෙකුත් බෝග අස්වනු සඳහා ද ක්‍රියාත්මක කීරීමට සැලසුම් කර ඇතැයි පී . හැරිසන් අමාත්‍යවරයා අවධාරණය කළේ ය. ඉදිරියේ දී වැඩි මිලකට වී මිල දී ගැනීම ට ද සැලසුම්කර තිබේ.

ල දී ගැනීමේ සමාරම්භක අවස්ථාවට අමාත්‍යංශ ලේකම් කේ.ඩී.එස් . රුවන්චන්ද්‍ර මහතා , නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් අසංක රත්නායක , ගොවිජන සේවා නිලධාරීන් ඇතුළු නිලධාරීන් රැසක් මේ අවස්ථාවට සහභාගී විය.








2019/01/20

යාං ඔය ජලාශ ව්‍යාපෘතියෙන් ඉඩම් අහිමිවූවන්ට වන්දි ලබාදීම කඩිනම් කරන බවට විෂයභාර අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක් .

විශේෂ කරුණක් සේ සලකා, යාං ඔය ජලාශ ව්‍යාපෘතිය හේතුවෙන් ඉඩම් අහිමිවූවන් ට අලුතින් ඉඩම් ලබාදීම හා වන්දි ලබාදී ම කඩිනම් කරන බව වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍ය පී. හැරිසන් මහතා පැවසී ය. අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ , යාං ඔය ජලාශ ව්‍යාපෘතිය පිළිබඳව අද (20) අනුරාධපුරයේ දී පැවැති විශේෂ සාකච්ඡාවක දී යි.

මෙම ජලාශය ඉදිකර සම්පූර්ණයෙන්ම ජලය පුරවා ඇතත් , එය ඉදිකිරීමෙන් ඉඩම් අහිමි වූවන්ගෙන් පිරිසකට තවමත් ඉඩම් හා වන්දි හිමි වී නැත. මෙම ප්‍රමාදයට හේතු වී ඇත්තේ සමීක්ෂණ කටයතු හා තක්සේරු වාර්තා නිසි ලෙස ලබාගත යුතුව තිබෙන බැවිනි. අද පැවැති රැස්වීමේ දී අමාත්‍යවරයා අදාල නිලධාරීන් ට උපදෙස් ලබා දුන්නේ , මෙම ජනතාව මුහුණ දී සිටින පීඩාව සලකා වන්දි ගෙවීම සඳහා වන මුලික කටයුතු කඩිනම් කරන ලෙසයි. ඒ අතරතුර යැපීම සඳහා ජීවනාධාර ලබාදීම ද සිදුවනු ඇති.

මෙම වන්දි ලබා නොදීම පිලිබද පසුගිය කාලයේ දී පීඩාවට පත් ජනතාවගෙන් නිතර විරෝධතා එල්ල විය. ගැටළුව කඩිනමින් විසඳීමේ තීන්දු ලබා ගැනීමේ අරමුණින් විෂය භාර අමාත්‍යවරයා සමඟ විශේෂ සාකච්ඡාවක් සංවිධානය කිරීමට අනුරාධපුර දිස්ත්‍රික් මහ දිසාපති නීතීඥ ආර්.එම්.වන්නිනායක මහතා කටයුතු කලේ ඒ අනුවයි.

මෙහිදී අමාත්‍යවරයා මෙන්ම මහ දිසාපතිවරයා ද තත්ත්වය සම්බන්ධයෙන් පීඩාවට පත් ජනතාවට කරුණු පැහැදිලි කල හ. අදාල තක්සේරු වාර්තා ලබන 31 වනදා ට පෙර ලබාදෙන ලෙස තක්සේරු නිලධාරීන්ට අමාත්‍යවයා උපදෙස් දුන්නේ ය.



ළමා හා කන්තා කටයුතු සහ වියළි කලාපීය සංවර්ධන අමාත්‍යංශයේ අනුරාධපුර ව්‍යාපෘති කාර්යාලයේ වැඩ අරඹයි.

කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාපීය සංවර්ධන අමාත්‍යංශයේ ව්‍යාපෘති කාර්යාලය අද (18) අනුරාධපුරයේ විවෘත කෙරිණ. ඒ විෂය භාර අමාත්‍ය චන්ද්‍රනී බණ්ඩාර මහත්මියගේ ප්‍රධානත්වයෙනි. විවෘත කිරීමේ උත්සවය අමතමින් අමාත්‍යවරිය සඳහන් කළේ , වියළි කලාපීය සංවර්ධනය නැමැති විෂය යටතේ රජරට ජනතාවට විශේෂ අවධානයක් යොමුකර සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් පවතින බවයි.

ළමා හා කාන්තා කටයුතු අමාත්‍යවරිය ලෙස පසුගිය වසර තුනකට අධික කාලයේ දී ළමුන් සහ කාන්තාවන් වෙනුවෙන් විශාල මෙහෙවරක් කිරීමට හැකිවීම පිළිබඳව ද ඇය මෙහි දී සිහිපත් කළා ය. ඉදිරියේ දී දිවා සුරැකුම් මධ්‍යස්ථාන 2000 ක පමණ සංඛ්‍යාවක් අලුතින් ඉදිකිරීමත් , ඒ සඳහා පාලිකාවන් දසදහසක් පුහුණු කිරීමත් ආරම්භ කිරීමට සැලසුම් සකස්කර තිබේ. ශ්‍රී ලංකාවේ සියලුම පෙර පාසල් දරුවන් සඳහා දිවා ආහාර ලබා දිමට ඉදිරියේ දී පියවර ගන්නා බව ද සිහිපත් කෙරිණ.

මෙහි දී කතා කළ අනුරාධපුර මහ දිසාපති නීතීඥ ආර්.එම් . වන්නිනායක මහතා සඳහන් කළේ , අනුරාධපුරයට ම ගැළපෙන ප්‍රධාන පෙළේ ,අමාත්‍යංශ කිහිපයක් ම අනුරාධපුර යට ලැබී තිබෙන නිසා ඉදිරියේ දී රජරට ට විශාල සංවර්ධනයක් ගෙන ආ හැකි බවයි. එමෙන්ම පසුගය වසර කිහිපයේ දී ළමා හා කාන්තා කටයුතු අමාත්‍යංශයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයට සිදුව ඇති සේවාව ද එතුමා ඇඟයීමට ලක් කළේ ය.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රධාන පෙළේ රාජ්‍ය නිළධාරීන් , පළාත් පාලන ආයතන නියෝජිතයින් මෙන්ම විශාල ජන පිරිසක් ද මේ උත්සවය අවස්ථාවට සහභාගී විය.









2019/01/18

උතුරු පානීය ජල යෝජනා ක්‍රමය පිළිබඳව මහ කනදරාව ගොවි නියෝජිතයින් හා අනුරාධපුර මහ දිසාපතිතුමා අතර සාකච්ඡාවක් ....

වකුගඩු රෝගීන් බහුල ප්‍රදේශවලට පානීය ජලය ලබාදිමේ අරමුණින් ආරම්භ කළ උතුරු ජල සම්පාදන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධ විශේෂ සාකච්ඡාවක්, අනුරාධපුර දිසාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (18) පැවැත්විණ. මෙම ජල යෝජනා ක්‍රමයෙන් ජලය පහසුකම් සැලසෙන්නේ රඹෑව , මැදවච්චිය වැනි වකුගඩු රෝගය බහුලව ක්‍රියාත්මක වන ප්‍රදේශවලට ය. එයින් ග්‍රාම නිලධාරී වසම් 75 ක ජනතාවට පිරිසිදු පානීය ජල පහසුකම් ලැබේ.

උතුරු පානීය ජල සම්පාදන යෝජනා ක්‍රමයේ පළමුවන අදියරේ ඉදිකිරීම් මහකනදරාව වැව කේන්ද්‍ර කරගනිමින් මේ වන විට සිදුවෙමින් තිබේ. එහෙත් මහ කනදරාව ගොවි ජනතාවගේ විරෝධතාවක් එල්ලවිම හේතුවෙන් ඒ පිළිබද සාකච්ඡා කිරීම මෙහිදී සිදු විය. ගොවීන් කියා සිටින්නේ පානීය ජල යෝජනා ක්‍රමයට කනදරාව වැවෙන් ජලය ගතහොත් තම ගොවි කටයුතු සඳහා ප්‍රමාණවත් ජලය ලබාගැනීමට නොහැකි වනු ඇති බවයි.

රඹෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලට අද (18) පැමිණි ගොවි නියෝජිතයින් දිසාපතිතුමාගෙන් ඉල්ලා සිටියේ පානීය ජල ව්‍යාපෘතියට කනදරාව ජලාශයෙන් ජලය ලබා ගන්නේ නම්, අඩුවන ජල ප්‍රමාණයට අවශ්‍ය ජලය වෙනත් ජලාශයකින් කනදරාව වැවට ලබාදීමට කටයුතු කළ යුතු බවයි.

මොරගහ කන්ද ජලාශයෙන් මහ කනදරාව වැවට ජලය ලබාගැනීමේ සැලසුමක් ඇතත්, එය ක්‍රියාත්මක කිරීමට තවත් වසර කිහිපයක් ගතවේ. එහෙත් මෙම ජල ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත්තේ 2020 වසරේ සිට ය. ඒ වන විට මොරගහ කන්ද ජලාශයෙන් මහ කනදරාව ජලාශයට ජලය ලබා ගැනීමමේ හැකියාවක් නැත.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාවේ දී දිසාපතිතුමා විසින් ගොවි ජනතාවට කියා සිටියේ , ගොවීන් ගේ කිසිදු වගාවකට හානියක් නොවන පරිදි මෙම පානිය ජල ව්‍යාපෘතිය ද ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බවයි . මෙම පානීය ජල ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ ද ජනතාව වෙනුවෙන්ම බව ද එතුමා ගොවීන් ඉදිරියේ අවධාරණය කළේ ය. එමෙන්ම ගොවි ජනතාවට අගතියක් නොවන ආකාරයට මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධව තව දුරටත් ඉදිරියේ දී සාකච්ඡා කර සාධාරණ තීන්දුවකට එළඹෙන බව මහ දිසාපතිවරයා විසින් අවධාරණය කෙරිණි.

ජපන් රජයේ අධාර යටතේ සිදුකරන මෙම පානීය ජල යෝජනා ක්‍රමය සඳහා වැය කරන මුදල රුපියල් මිලියන දස දහස් දෙසිය හතලිස් හතකි.




2019/01/17

දිසාපතිතුමා සමඟ කළ සාකච්ඡාවෙන් පසුව යාං ඔය විරෝධතාකරුවන් සිය විරෝධය අත්හිටුවයි.

ජන ජීවනාලිය ජය ගැනීමට අවශ්‍ය මුලික සාධකයකි, ජලය. ශ්‍රී ලංකාවේ සුවිසල් ජලාශක් ලෙස යාං ඔය ජලාශය හොරොව්පතාන , වාහල්කඩ ප්‍රදේශයේ ඉදිකළේ එම ජන ජීවන ජය ඔවුන්ට තව තවත් ලගාකරවීම උදෙසා ය. දැන් ජලාශය ජලයෙන් පිරී තිබේ. නමුත් ජලාශය නිසා ඉඩම් , නිවාස අහිමි වූවන් ට වන්දි ලබා දීමේ යම් ප්‍රමාදයක් තිබේ. එහෙත් එය කඩිනම් කිරිමට රජය පියවර ගෙන ඇත. වන්දි ගෙවීමේ ප්‍රමාදය හේතුවෙන් පීඩාවට පත් ජනයා විටින් විට ඒ සම්බන්ධ සිය විරෝධය එල්ල කළහ. මීට සති දෙකකට පමණ පෙර සිට යාං ඔය ව්‍යාපෘති කාර්යාලය ඉදිරිපිට අඛණ්ඩ විරෝධතාවක් ආරම්භ කිරීම එහි ආසන්නම අවස්ථාවයි.

නමුත් එම විරෝධතාව ඊයේ (17) සවස් වන විට අවසන් කිරීමට ඔවුන් තීරණය කළහ. මෙම සති දෙකක කාලය තුල විවිධ නිලධාරීන් එහි ගොස් ඔවුන් සමඟ සාකච්ඡා කළ ද ඵලක් නොවී ය. ජනයා විසින් අඛණ්ඩව සිය සත්‍යග්‍රහය ක්‍රියාත්මක කරන ලදි. අනුරාධපුර මහ දිසාපති ආර්.එම්. වන්නිනායක මහතා ඊයේ සවස විරෝධතා කරුවන් අසලට ගොස් පියවරෙන් පියවර මේ පිළිබඳව සාකච්ඡා කළේ ය. පවතින තත්ත්වය පිළිබඳව කරුණු පැහැදිලි කළේ ය. එයින් පසුව එම අවස්ථාවේ ම ඔවුන් විසිර යාමට තීරණය කළහ.

විරෝධතා කරුවන් ඉල්ලා සිටියේ තමන්ට ගොවි කටයුතු මගහැරුණු කාල සීමාවට ප්‍රමාද නොකර කන්න වන්දි ලබාදෙන ලෙසයි. එමෙන්ම වගා ඉඩම් ලබාදෙන තෙක් හිමිවන දීමනාව ද කඩිනම් කරන ලෙස ඉල්ලා සිටියේ ය. යාං ඔය ව්‍යාපාරයෙන් ඉඩම් අහිමි වූ වාහල්කඩ ඩී 1 හා ඩී2 කලාපයන් හි පිරිසක් මෙලෙස සති දෙකක් පුරා විරෝධතාවයේ නරත විය.

කරුණු අවබෝධ කරගත් ජනතාව විසිර ගිය අතරම තම විසඳුම් ලබා නොදුන හොත් නැවතත් විරෝධතාව අරඹන බව ද විරෝධතාකරුවන් විසින් දිසාපතිතුමා වෙත දැනුම් දෙන ලදි. මෙම ගැටලු සම්බන්ධ විශේෂ සාකච්ඡාවක් ද ලබන 20 වන දා අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්වේ.



ගං වතුරින් පීඩාවට පත් උතුරේ ජනතාවට මහවැලි ජනතාවගෙන් වියළි ආහාර

2019/01/09
මහවැලි කලාප වලට අයත් ජනතාව විසින් එක්රැස් කරන ලද වියළි ආහාර ද්‍රව්‍ය තොගයක් අද උදෑසන කිලිනොච්චියට පිටත්කර යැවී ය. අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ උපදෙස් මත ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් මෙම වියළි ආහාරද්‍රව්‍ය ලබාදී මේ වැඩපිළිවෙළ ආරම්භකර තිබේ. මහවැලි අධිකාරයේ ආයතන සංවර්ධන අධ්‍යක්ෂ මහේන්ද්‍ර අබේවර්ධන මහතා සඳහන් කළේ , මෙම ආහාර තොගය ලක්ෂ තිහක පමණ වටිනාකමකින් යුක්ත වන බවයි.
පසුගිය දා ඇති වූ ගංවතුරින් පීඩාවට පත් උතුරේ ජනතාවට බෙදා දීම සඳහා කිළිනොච්චිය දිසාපතිවරයා වෙත මෙම අහාර තොගය භාරදීමට කටයුතු කරන බව අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසී ය.
අනුරාධපුර දිස්ත්‍රික් මහ දිසාපති ආර්.එම්. වන්නිනායක මහතා ගේ සම්බන්ධීකරණයෙන් මෙම ආහාර තොගය අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සිට කිලිනොච්චිය බලා පිටත්කර යැවී ය.