කාර්යාල තොරතුරු

දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පිළිබඳ තොරතුරු

ඓතිහාසික වශයෙන් ඉතා වැදගත්කමක් ඇති අනුරාධපුර දිස්ත්‍රික්කය ශ්‍රී ලංකාවේ විශාලතම දිස්ත්‍රික්කයයි. එය විශාලත්වයෙන් ව.කි.මී. 7179 ක් වන අතර එය ශ්‍රී ලංකා භූමි ප්‍රමානයෙන් 11% කි. උතුරින් වව්නියා දිස්ත්‍රික්කය ද, දකුණින් මාතලේ හා කුරුණෑගල දිස්ත්‍රික්ක ද, බටහිරින් මන්නාරම් හා පුත්තලම දිස්ත්‍රික්ක ද, නැගෙනහිරින් ත්‍රිකුණාමලය හා පොලොන්නරුව දිස්ත්‍රික්කවලින් ද මායිම්ව උතුරු මැද පළාත තුල මෙම දිස්ත්‍රික්ක පිහිටා ඇත. දිස්ත්‍රික්කයේ විශාලතාවය හෙක්ටයාර් 717900 වන අතර ජනගහනය 905,000 ක් වේ. මැතිවරණ කොට්ඨාශ 7කින් යුත් දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ ගණන 22 ක් හා ශ්‍රම නිලධාරි කොට්ඨාශ 702 කින් සමන්විත වේ. මීට  ගම්මාන 2584 ක් අයත් වන අතර සමස්ත ජනගහනය 905,000ක් පමණ වේ.

  අනුරාධපුර නැගෙනහිර නුවරගම් පළාත ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පිහිටා ඇත. වර්ෂ 1835දී දිසාපතිතුමා ලෙස කටයුතු කළ ලුතිනන් මැන්ගස්පිල් මහතාගේ සිට දිසාපතිවරු 73 දෙනෙකු මේ දක්වා සේවය කර ඇත. වර්තමාන දිස්ත්‍රික් ලේකම් තුමා / දිසාපතිතුමා වශයෙන් නිතිඥ ආර්.එම්.වන්නිනායක මහතා දිස්ත්‍රික්කයේ පරිපාලන කටයුතු මෙහෙයවනු ලබයි. ප්‍රාදේශිය ලේකම් කාර්යාල 22කට අයත් ගම්මාන 2584 ක් පුරා විසිරි සිටින 905,000ක් වන සියළුම ජනතාවගේ ජනජීවිතය ඉහළ මට්ටමට ගෙන ඒම සඳහා රාජ්‍ය ප්‍රතිපත්ති වලට අනුකූලව කටයුතු කිරිමට සියළු නිළධාරින්ට නායකත්වය දීම එතුමාගේ වගකීම සහ කාර්යභාරය වේ.
        ශ්‍රි ලංකාව පිළිබඳ ලිඛිත ඉතිහාසය වසර 2500 ඉක්මවයි. එහි අනන්‍යතාවය ගොඩනැඟිම මුලාරම්භය සටහන් වන්නේ අනුරාධපුරයෙනි. මෙරට පැරණිතම අගනගරය ලෙස සලකන අනුරාධපුර රජවරුන් රැසක් යටතේ පාලනය වුණා. මෙම සංකෘතික උරුම රැසක් අනුරාධපුරය තුල පිහිටා ඇත්තේ  එවක රජවරු ගනු ලැබු තීන්දු වල ප්‍රතිඵල ලෙසයි. වඩා සමකාමී මෙන්ම ආගමානුකූල පාලනයක් පැවැති අනුරාධපුරය රාජධානියට, පසුකාලීනව සතුරු අක්‍රමණ එල්ල වන්නට විය. ඉංග්‍රිසි පාලනයට නතුවන්නට පෙර නුවරකාලාවිය පාලනය වුයේ මෙරට අවසාන රාජධානිය වු උඩරට රාජධානීයයි. උඩරට රජු විසින් පත්කල දිසාවේ කෙනෙකු නුවරකාලාවිය භාරව කටයුතු කළා. හෙතම නාවික නිලධාරියෙකු වු අතර  ඒ වෙනුවෙන් වන්නි උන්නැහැලා හෙවත් රට කරවන්නා විසින් නුවරකාලාවිය පාලනය කරවන්නට වුණා.
1815 වන තෙක්ම පැවැතුනේ මෙම තත්ත්වයයි. මෙරට සිවිල් පරිපාලනය ආරම්භ කරන්නේ ඉංග්‍රිසින් විසින් එය ශ්‍රි ලංකාවේ සිවිල් සේවය ලෙස හඳුන්වා තිබේ. ශ්‍රි ලංකාව පළාත් 05 කට බෙදුනු අතර නුවරකාලාවිය අයත්ව තිබුණේ උතුරු පළාතටයි. උතුරු පළාතේ ප්‍රථම ඒජන්තවරයා හොබවන ලද්දේ පී.ඒ. බයිට් මහතා විසින් උතුරු පළාතට අනුබද්ධ නුවරකාලාවියට උප ඒජන්තවරයෙකු පළමුවරට පත්කර ඇත්තේ 1835 වසරේදීය. නුවරකාලාවිය පළමු උප ඒජන්ත කාර්යාලය රිටිගල ප්‍රදේශයේ ස්ථාපිත කිරීමට යෝජනා වී ඇතැත් එය අනුරාධපුර නගරයේම පිහිටි වීමට පසුව තිරණය වී ඇත. එවක ඒජන්ත බයිට් මහතා රිටිගල ප්‍රදේශයේ මෙය ආරම්භ කිරිමට අකමැති වීම ඊට හේතුවයි. මුල්ම සහකාර ඒජන්ත කාර්යාලය ප්‍රමාණයෙන් කුඩා වු අතර සේවයට සිටියේද නිලධාරින් කිහිපදෙනෙකු පමණයි.
දිගුකාලයක් සහකාර ඒජන්තවරයෙකු යටතේ උතුරු පළාතම පාලනය වු නුවරකාලාවිය හා  සමන්කඩුව වෙනම පළාතකට වෙන්කරන ලද්දේ 1873 වසරේදීය. එහි ප්‍රථම ඒජන්තවරයා වුයේ ජේ.එස්. ඩික්ෂන් මහතායි. මේ සමයේ දි අනුරාධපුර බෞද්ධ ස්මාරක සියල්ලම පාහේ කැලැවට යට වී තිබු බව පවසයි. එවකට නුවරකාලාවියේ හැටදාහසක් ඉක්මවු ජනතාවක් ජිවත්ව තිබේ. උතුරුමැද පළාතට පළමුවරට සිංහල ඒජන්තවරයෙකු පත්වන්නේ 1931 වර්ෂයෙදී. ඒ සී.එම්. වික්‍රමසිංහ මහතායි.


විවිධ අවධීන් පසුකරමින් පැවැති අනුරාධපුර පරිපාලන මහගෙදර අලුතින් බිහිවන්නේ 1954 වර්ෂයේදී. එදා සිට අද දක්වා අනුරාධපුර පරිපාලයේ කේන්ද්‍රස්ථානය ලෙස සැලකිය හැකි අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එහි පිහිටා ඇත. පෙර පැවැති සේම අනුරාධපුර දිස්ත්‍රික්කයේ පරිපාලන කටයුතු වර්තමානයේ ක්‍රියාත්මක කරන්නේ ද ආගම දහමට මුල්තැන දෙමින්. එය අතීතයේ සිටම පැවැතෙන සිරිතකි. පොසොන් උත්සවය මෙහිදි කැපී පෙනෙන්නේ මේ සමයට අනුරාධපුර සෑම සිද්ධාස්ථානයක්ම අති උත්කර්ෂවත් ලෙස ආගමික වතාවත් සංවිධානය කරයි. නිතිඥ ආර්.එම්. වන්නිනායක දිසාපති තුමාගේ නායකත්වයෙන් බල ගැන්වෙන  දිස්ත්‍රික් පරිපාලනයේ එකතුව මේ සඳහා ප්‍රබල පිටුවහලක් සපයයි.

No comments:

Post a Comment