*


අනුරාධපුර පරිසර සමුළුව - 2019/02/14



පරිසර අමාත්‍යවරයා ලෙස අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පරිසරය සුරැකීමේ වැදගත්කම අවධාරණය කරමින් අනුරාධපුර පරිසර සමුළුවේ දී  කළ කතාවෙන් උපුටාගත් පාඨයකි , ඉහත දැක්වෙන්නේ. රටෙහි බාල, වැඩිහිටි , මහළු සියලු දෙනා එක සේ පරිසරය පිළිබඳව අවධානය යොමුකළ යුතු බව වටහා ගැනීමට එම ප්‍රකාශයන් මනා වටිනාකමක් ගෙන දෙයි. සමුළුවේ ආරම්භය උත්කර්ෂවත් අයුරින් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සම්ප්‍රාප්තියත් සමග සිදුවිය.


පරිසරය රැකීමේ වැදගත් කම පිළිබඳවත්, එයින් මානවයාට ඇති සෙත ගැනත් වසර දහස් ගණනකට පෙර සිට විවිධ ප්‍රාඥයින් විසින් අවධාරණය කර තිබේ. ඒවා පොත පත් හි  ද සඳහන් ය. එහෙත් පාරිසරික ගැටලු උග්‍ර වී ඇත. එය පසුගිය දශක කිහිපයේ දී ශීඝ්‍රයෙන් වර්ධනය වී ඇත. ශෝකී , හැඟුම්බර කාරණය වන්නේ , පරිසරය නැසීමට පෙරමුණ ගෙන සිටින්නේ , පෘථිවියේ බුද්ධිමත් ම සත්ත්ව කොට්ඨාසය වන මනුසතා වීමයි.
විවිධ පරිසර ගැටළු හමුවේ පීඩා විඳිමින් සිටිද්දීත් පරිසරය ගැන නොතකන්නේ මනුසතා බුද්ධිමත් නිසා ද? නිදහසට පෙර ශ්‍රී ලංකාවේ පැවැති වන වැස්ම සියයට හැට හයකි . අද එය සියයට විසි අට දක්වා අඩු වී තිබෙන බව අතිගරු ජනාධිපති තුමා කියා සිටී. එම සංඛ්‍යාලේඛන අනුව නිදහසින් පසුව අපට අහිමි වූ වනාන්තර වල ප්‍රතිශතය සියයට තිස් අටකි. එමෙන්ම එය වසරක් පාසා තව තවත් ඉතා වේගයෙන් විනාශ වෙමින් තිබේ. ජර්මන් වොච් නම් පරිසර සංවිධානය 2018 වසරේ ඉදිරිපත් කළ වාර්තාවට අනුව දේශගුණ විපර්යාස සිදුවන අවධානම් රටවල් අතර ශ්‍රී ලංකාව දෙවන තැනට පත්ව ඇත.
















දේශගුණ විපර්යාස සිදුවන අවධානම් රටවල් අතර ශ්‍රී ලංකාව දෙවන තැනට පත්ව ඇති පසුබිමක් හමුවේ, කිසිවකුටත් පරිසරය රැකීමේ වගකීමෙන් බැහැර විය නොහැකියි. රජයක් හැටියට දිස්ත්‍රික් පුරා පරිසර සමුළු පවත්වමින් ජනතාව දැනුවත් කිරීමේ හා ඒ හරහා පරිසර සංරක්ෂණයට ජනතාව සක්‍රීයව එක්කර ගැනීමේ මෙහෙයුම අද සමාජයේ වේගයෙන් ක්‍රියාත්මක කරන්නේ ඒ නිසාය. අනුරාධපුරයේ දී අද (14) පැවැති පරිසර සමුළුවේ දී  අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා  මෙසේ ද පැවසීය.

ශ්‍රී ලංකාවේ මේ වන විට වනගහණය සියයට විසි අටක මට්ටමේ පවතිනවා. නමුත් එය සියයට තිස් දෙක දක්වා ඉහළ නැන්වීම අවශ්‍යයි. අපේ වනගහණය එක් වර්ෂයක දී සියයට එකයි දශම පහකින් අඩුවෙනවා. කැලෑ කැපීම නිසාත් , වෙනත් ක්‍රියාකරකම් නිසාත් ඒ තත්ත්වය පවතිනවා. මේ විදියට ගියොත් අවුරුදු කිහිපයක් යන විට රටේ වනාන්තර ශීඝ්‍රයෙන් අඩුවෙලා රට කාන්තාරකයක් වෙන එක අපි ජීවත්ව සිටින කාලයේ ම සිදු වේවි.  . මෙම තත්ත්වය තුරන් කිරීම සඳහා රටේ සියළු පාර්ශව එකතුවිය යුතුයි. මේක ජනාධිපතිට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. රජයකට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේක හැමෝටම පැවරෙන වගකීමක් මෙම ප්‍රකාශයන් තුලින් පැහැදිලි වන්නේ දේශගුණික හා කාලගුණික විපර්යාස වලට මුහුණ පෑමට සිදුව ඇත්තේ , පරිසරය පිළිබඳව සියලු දෙනා ගේ අවධානය නිසි ලෙස යොමු නොවීම නිසා බවයි.

“ සොබා දම කිපුණු දා සත් වගම නසන්නේ ...,, යන යෙදුමෙහි ඇති අර්ථය සැමට වැටහිය යුතුය. සැබැවින්ම දැන් සොබා දම කිපීමට පටන් ගෙන තිබේ. පසුගිය අවුරුදු තුන තුල ශ්‍රීලංකාවේ සමස්ත ප්‍රදේශවලින් තුනෙන් දෙකක පමණ ප්‍රදේශයක් දැඩි නියඟයකට මුහුණ දුන්නේ ය. පෙර රජ දවස මනාව තිබූ මෙම පරිසරය , දේශගුණය අද සමාජය වන වට විනාශ වුණේ ඇයි? කවුරුත් ජීවත් වන්නේ පරිසරයේ සහයෙන් බව නොවැටහීම මීට ප්‍රධාන හේතුව වේ. ලෝකයේ පලමු අභය භූමියේ හිමිකම ඇත්තේ ද ශ්‍රී ලංකාවට ය. සුන්දර දිවයිනක් ලෙස ද ලෝකයේ නම් දරා තිබේ. එහෙත් මෙම පරිසර විනාශයන් ගේ ශිඝ්‍රතාව සමඟ සැසදීමේ දී එම සුන්දරතා එතරම් කලක් පවතී යැයි කීම පුහු අදහසකි. මෙම පරිසර සමුළුව පැවැත් වූ අනුරාධපුරයේ ද හඳුනාගෙන ඇති පරිසර ගැටළු සමුහයකි. වන සත්ව හානිය , රක්ෂිත විනාශය , අවිධිමත කැනීම් ජවාරම් , අවිධිමත් කසල බැහැර කිරීම් ආදිය ඔස්සේ ශ්‍රී ලංකාවේ ප්‍රථම රාජධානිය ලෙස විරුදාවලී ලබන අනුරාධපුරයේ පරිසර පද්ධතිය මහා අර්බුදයකට මුහණ දී තිබේ.

පරිසරය සුරක්ෂිත කිරීම සඳහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කළත් , ඒ සඳහා විවිධ ආයතන පැවතියත්, අදාල වැඩසටහන් පිළිබඳව පසු විපරම් කිරීම් නොමැතිවීම බරපතල ගැටළුවක් බව ජනාධිපතිතුමා අවධාරණය කරයි. එම නිසා ග්‍රාමීය මට්ටමින් සිදුවන පරිසර හානි වැලැක්වීම උදෙසා පරිසර පොලීසිය මෙන්ම ග්‍රාම නිලධාරීන් වැනි පිරිස්  උනන්දුවෙන් කටයුතු කළ යුතුය. එමෙන්ම පරිසර හිතැති ජනතාව  , පරිසරය විනාශ කරන්නන් පිළිබඳ තොරතුරු ලබාදීමේ වැදගත් කම ද අනුරාධපුර පරිසර සමුළුවේ දී අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා  විසින් පෙන්වා දෙන ලදි. පපුව , ඔළුව නරක් නොවූ පිරිසිදුම පිරිස හැටියට හඳුනා ගන්නා පාසල් දරුවන් යනු පරිසරය සුරක්ෂිත කිරීමේ පණිවිඩය සමාජයට සාර්ථකව ලබාදිය හැකි හොඳම පිරිස බවට පත්වන බව ද අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පැවැසී ය.

අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා පරිසර අමාත්‍යංශය ඒකාබද්ධව සංවිධානය කළ අනුරාධපුර දිස්ත්‍රික් පරිසර සමුළුවට ග්‍රමීය ජනතා , ගොවි නියෝජිතයින් , රාජ්‍ය නිළධාරීන් , පරිසර සංවිධාන නියෝජිතයින් , දේශපාලන අධිකාරිය, පොලීසිය ඇතුළු ආරක්ෂක අංශයේ නිලධාරින් මෙන්ම පාසල් දරුවන් ද ඇතුලු පන්දහකට අධීක පිරිසක් එක් විය. මේ සියලු දෙනා එක්ව ප්‍රතිඥ දුන්නේ පරිසරය සුරක්ෂිත කිරීමට දිවි හිමියෙන් කැපවන බවටයි. සමුළුව අතරවාරයේ දී අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් නීතීඥ ආර්.එම්. වන්නිනායක මහතා විසින් දිස්ත්‍රික්කයේ පරිසර ගැටළු ඇතුලත් තොරතුරු ගොනුවක් ද අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්වී ය. පරිසර සුරක්ෂාව තේමා කරගනිමින් අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ විහංගා පාරමී ශිෂ්‍යාව කළ කතාව අතිශය හැඟුම්බර එකකි. පරිසරය තේමා කරගත් නර්තනාංග වලින් ද සමුළුව අලංකාරවත් විණ. සංකේතාත්මක ලෙස රුක් රෝපණයක් ද අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ගේ මුලිකත්වයෙන් සිදුකෙරිණ.

මෙය තවත් එක් උත්සවයක් නොවන බවට ඉඟි එහි ගැබ්ව තිබුණු . විශේෂයෙන්ම අප උතුම් නම් පරිසරය සුරක්ෂිත කිරීමට දායක වීම මිනිසකු ලෙස සිදුකරන උතුම් කාර්යයන් හි ප්‍රධානතම කාර්යය බවට පත්වන්නේ ය. එමෙන්ම එය දැන් නම් එය අතිශය ප්‍රායෝගික විය යුතුම ය. සමුළුවේ ඡයාරූප එකතුව පහතින් දක්වා ඇත.