*


“දෙසතිය,, පාසල් වැඩමුළුවට අනුරාධපුරයෙන් ප්‍රබෝධවත් ප්‍රතිචාරයක්


අනාගත පරපුරට නිවැරදි මාධ්‍ය භාවිතයක් පිළිබඳව අවබෝධය ලබාදීමේ අරමුණින් රට පුරා පවත්වන “දෙසතිය,, පාසල් වැඩමුළු මාලාවේ අනුරාධපුර දිස්ත්‍රික් වැඩසටහන සාර්ථකව අවසන් විය . නව වැඩමුළු මාලාව ක්‍රියාත්මක වන්නේ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව මහතාගේ සංකල්පයක් අනුවයි. අනුරාධපුර දිස්ත්‍රික් වැඩමුළුව පැවැත්වුයේ  වලිසිංහ හරිස්චන්ද්‍ර මහා විද්‍යාලයේ දී යි. ස්වර්ණපාලී බාලිකා විද්‍යාලය , නිවත්තක චේතිය මහා විද්‍යාලය, මිහින්තලේ මහා විද්‍යාලය , රඹෑව මහා විද්‍යාලය , කැබිතිගොල්ලෑව මධ්‍ය විද්‍යාලය හා වලිසිංහ හරිස්චන්ද්‍ර මහා විද්‍යාලය යන විද්‍යාලයන් හි සිසු සිසුවියෝ වැඩසටහන සඳහා එක්වූහ. සහභාගී වු සිසුන් 300 ක පමණ පිරිසට සහතික්පත් පිරි නැමිණ. වැඩමුළුව නියෝජනය කළ පාසල් හි පුස්තකාල සඳහා දෙසතිය සඟරා ඇතුළු වටිනා පොත් කට්ටලයක් ද පරිත්‍යාග කිරීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පියවර ගත්තේ ය.  

මෙහිදී කතා කළ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් නීතීඥ ආර්. එම්. වන්නිනායක මහතා ගේ අදහස වූයේ කවර මාධ්‍යක් පරිහරණය කළ ද ඒවා නිවැරදි ආකාරයෙන් හා සමබරව සිදුකිරීම ප්‍රබල වගකීමක් බවයි. මාධ්‍ය හරහා ප්‍රචලිත වන තොරතුරු හරහා සිදුවිය යුත්තේ සමාජය යහපත් වීමයි. ඒ වෙනුවට සමාජය තුල අලුතින් ගැටුම් නිර්මාණය වන ආකාරය මාධ්‍ය භාවිතයක් කිසිසේත්ම ශ්‍රී ලංකාව වැනි රටකට නොගැලපෙන්නේ යැයි ද අනුරාධපුර දිසාපතිතුමා විසින් පැමිණ සිටි සිසු පිරිස ඉදිරියේ පැහැදිලි කරන ලදි.

 රජයේ සංවර්ධන තොරතුරු ජනතාව වෙත  ගෙනයන ප්‍රධානතම ලිඛිත මාධ්‍යක් බවට දෙසතිය සඟරාව පත්ව ඇතැයි වැඩමුළුවට එක් වූ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ නිර්මලී කුමාරගේ මහත්මිය සඳහන් කළා ය . වර්තමානයට පමණක් නොව අනාගතය ද උදෙසා රට තුල සිදුකරන සංවර්ධන තොරතුරු පාසල් දරුවන් විසින් දැනගත යුතුව ඇත. දෙසතිය සඟරාව ඒ සඳහා මනා තෝතැන්නකි. තොරතුරු විසරණය වේගවත්ව සිදු වුවත් ලිඛිත මාධ්‍ය හරහා ලබා ගන්නා තොරතුරු මගින් පුළුල් අවබෝධයක් ලද හැකි  යැයි ද ප්‍රවෘත්ති අධ්‍යක්ෂ නිර්මලී කුමාරගේ මහත්මිය වැඩිදුරටත්  සඳහන් කළා ය. 

සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයන පාසල් විෂය නිර්දේශයට  අත්‍යවශ්‍ය අධ්‍යයන ක්ෂේත්‍රයක් වන නව මාධ්‍ය පිළිබඳ  කරුණු පැහැදිලි කළේ, සහකාර ප්‍රවෘත්ති අධ්‍යක්ෂ කපිල ආරියවශ මහතායි. කැමරාකරණය පිළිබද ආකර්ශනීය  දේශනයක්  කේ . වල්පොල මහතා විසින් ඉදිරිපත් කෙරිණ. භාෂාවේ වැදගත්කම හා සිංහල භාෂාව මුහුණ දී තිබෙන ගැටළු ආදිය පදනම් කරගෙන , රජරට විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය ප්‍රසාද් මල්ලවආරචිචි මහතා කතා කළේ ය. දෙසතිය සඟරාව පිළිබඳ හැඳින්වීම සිදුකලේ ,  සහකාර ප්‍රවෘත්ති අධ්‍යක්ෂ සුමිත් තිලකරත්න මහතායි.

සිසු දරු දැරියන්ගේ අදහස් වුයේ නැවත වරක් මෙවැනි වැඩසටහන් ඔවුන් වෙනුවෙන් අවශ්‍ය ය යන්නයි. සන්නිවේදන දක්ෂතා වලින් පිරිපුන් පාසල් දරුවන් විශාල පිරිසක් හදුනාගත්  වැඩසටහනක් බවට ද අනුරාධපුර  පාසල් වැඩමුළුව පත්විය. එම දක්ෂයින් සඳහා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සහය ලබා දීමට ද පියවර ගන්නා බව එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සිසු දරු දැරියන් ඉදිරියේ පොරොන්දු විය.
පලාත් අධ්‍යාපන සහකාර අධ්‍යක්ෂ එච්.එම් .කරුණාරත්න, වලිසිංහ හරිස්චන්ද්‍ර විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්විය. වලිසිංහ හරිස්චන්ද්‍ර විද්‍යාලයේ දි මෙම වැඩමුළුව පැවැත්වීමට එම විද්‍යාලයේ මාධ්‍ය අංශය භාර ආචාරිනී  ඉනෝකා ගුණවර්ධන මෙනවියගෙන් හා සිසුන්ගෙන් ලැබුනේ අනගි සහයකි. මෙම වැඩමුළුවේ ඡයාරූප එකතුව