*


රජයේ උපදෙස් අනුව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය තුල 2021 ජනවාරී 01 දින රාජකාරි ඇරඹුම.

 

2021 නව වර්ෂයේ රජයේ උපදෙස් මත රාජකාරි කටයුතු ආරම්භ කිරීමට අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන් අද කටයුතු කළා. ඒ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් නීතීඥ ආර්. එම්. වන්නිනායක මහතාගේ ප්‍රධානත්වයෙන්.

 රට හදන සෞභාග්‍යයේ දැක්මරජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව සමෘද්ධිමත් දේශයක් කරා යන ගමනට රජයේ නිලධාරීන්ගේ දායකත්වය ලබාගැනීමත්, ඒ සඳහා කැපවීමෙන් වැඩ කිරීමේ ආකල්පමය වෙනස ඇති කිරීමටත් රජය දස ප්‍රතිඥාවන්ගෙන් යුක්ත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇත.

 

ඒ අනුව 2021 රාජකාරී කටුයතු ආරම්භ කරන පළමු දිනයේ දී ආයතනයේ සේවය කරන සියලුම නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට රජය උපදෙස් ලබා දී තිබේ. එහි ප්‍රධාන උත්සවය පෙ.ව.09.00 ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පවැත්වෙන අතර, ඊට සමගාමීව රට පුරා සියලු රාජ්‍ය ආයතනවල මෙම උත්සවය සිදු කිරීමට උපදෙස් ලබා දී ඇත.

 

කාර්යාලය ඉදිරිපිට දී ජාතික ධජය ඔසවා, ජාතික ගීය ගායනා කිරීමෙන් අනතුරුව දේශය වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන් ඇතුලු සියලුදෙනා සැමරීම සඳහා විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් ආරක්ෂා කිරීම සිදු කෙරිණි.


 
ඉන් අනතුරුව රාජ්‍ය සේවා ප්‍රතිඥාවට අනුව දිවුරුම් දීම සිදු විය. කොවිඩ් වෛරසයෙන් ආරක්ෂාවීම සඳහා අනුගමනය කළ යුතු පිළිවෙත් පිලිබඳව විශේෂ පැහැදිලි කිරීමක් පාසල් සෞඛ්‍ය වෛද්‍ය හා නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කිලෝෂිණී හෙන්දවිතාරණ මහත්මිය විසින් සිදු කරන ලදි. මේ වන විට අනුරධපුර දිස්ත්‍රික්කයේ පී.සී.ආර්. පරීක්ෂණ 15000 ක පමණ සංඛ්‍යාවක් සිදුකර ඇති බවත්, එම පරීක්ෂණ වල දී ආසාදිතයින් 83 දෙනෙකු හඳුනාගත් ගෙන ඇති බවත් ප්‍රකාශ කළ කිලෝෂීණී මහත්මිය, තමන් අසල සිටින තැනැත්තා කොවිඩ් ආසාදිතයකු යැයි සැකයෙන් ජීවත් වීම කාලෝචිත බව ද සඳහන් කළා ය. කිලෝෂීණී මහත්මිය වැඩිදුරටත් සඳහන් කළේ , දුරස්ථභාවය සුරක්ෂා කිරීම , ස්වසන ආචාරවිධි පවත්වා ගැනීම , දෑත් සේදීම හා මුව ආවරණ පැළඳීම යන සිව්වැදෑරුම් සෞඛ්‍ය පිළිපදින්නේ නම් මේ වෛරසය ආසාදනය වීමෙන් වැලකිය හැකි බවයි. මෙතෙක් අනුරාධපුරයෙන් හමු වූ බොහෝ කොරෝනා රෝගීන් මෙම සෞඛ්‍ය ක්‍රම අනුගමන කර නොමැති බව ද ඇය කියා සිටියා. 
 

 ඉන් අනතුරුව මහා සංඝ රත්නය සෙත් පිරිත් සජ්ඣායනා කරමින් කාර්යාල පරිශ්‍රයේ සියලුදෙනා වෙත ආශිර්වාදය ලබා දුන් අතර, නිලධාරීන් අමතා දිසාපතිතුමා විසින් විශේෂ දේශනයක් ද සිදු කෙරිණි.



 උත්සවය අවසන් වූයේ සියලු දෙනාම සංග්‍රහයක් ද භුක්ති විඳීමෙන් අනතුරුවයි.


(විස්තර හා ඡයාරූප අනුග්‍රහය - දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය)