*


අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට නව පරිගණක විද්‍යාගාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රය තුල පරිගණක විද්‍යාගාරයක් 2021/01/18 දින ආරම්භ කල අතර, එම අවස්ථාවට එක් වූ මහ දිසාපති ආර්.එම්.වන්නිනායක මහතා සඳහන් කළේ ජනතාවට කාර්යක්ෂම රාජ්‍ය සේවයක් සැපයීමට නම් සෑම තරාතිරමකම රාජ්‍ය නිලධාරීන් තාක්ෂණ ඥානයෙන් පොහොසත් විය යුතු බවයි.

සේවාවන්හි නිවැරදි බව හා කඩිනම් බව උදෙසා මෙහි දී ලබන පුහුණුවෙන් ප්‍රයෝජන ලබාගනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද මේ අවස්ථාවට එක් වූ රාජ්‍ය නිලධාරීන් අමතමින් දිසාපතිවරයා වැඩිදුරටත් සඳහන් කලේය.

මෙම විද්‍යාගාරය තුල ඇති පරිගණක සංධ්‍යාව 50 කි. දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන්ට පමනක් නොව වෙනත් රාජ්‍ය ආයතනවල නිලධාරීන්ට ද මෙම පරිගණක විද්‍යාගාරයෙන් පරිගණක දැනුම ලබා ගැනීමට හැකිව පවතී.

ඒ සඳහා අවශ්‍ය පාඨමාලා සැලසුම් කිරීම සහකාර දිස්ත්‍රික් ලේකම් අයෝමි රත්නායක මෙනවියගේ මූලිකත්වයෙන් සිදුවෙමින් පවතී. අතිරේක දිස්ත්‍රික් ලේකම් රුවන් බණ්ඩාර නවරත්න මහතා මෙම අවස්ථාවට එක්වෙමින් කියා සිටියේ අනුරාධපුර දිස්ත්‍රික් මහ දිසාපතිවරයා විසින් ගත් මෙම කාලෝචිත තීන්දුව ඉතා කඩිනමින් මල්ඵල ගැන්වීමට හැකිවීම සතුටට කරුණක් බවයි. මේ සදහා හිටපු අතිරේක දිස්ත්‍රික් ලේකම් හා වත්මන් ඉඩම් කොමසාරිස් ජනරාල් කීර්ති ගමගේ මහතා ද මේ වෙනුවෙන් කැප වූ බව අතිරේක දිස්ත්‍රික් ලේකම්වරයා සිහිපත් කළේ ය.

දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ අනුරාධ දිසානායක, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පරිපාලන නිලධාරී චන්දන වික්‍රමසිංහ යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් සමාරම්භක අවස්ථාවට සහභාගී වූහ.

(විස්තර හා ඡයාරූප අනුග්‍රහය - දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය)