*


අවුරුදු එකසිය අසූවන වස් සපුරන අනුරාධපුර සිවිල් පරිපාලනය හා අනුරපුර ඓතිහාසිකත්වය.

වසර 2500 කටත් අධික ලිඛිත ඉතිහාසයක් ඇති ශ්‍රී ලාංකිකයින්ට ඔවුන්ට ම අනන්‍ය වූ සංස්කෘතියක් ගොඩනඟා ගැනීමට ඉවහල් වූ මූලාරම්භය අනුරාධපුරය බැව් අතිත මුලාශ්‍ර වලින් පෙනී යයි. මෙරට පැරණිතම අග නගරය වන්නේ ද අනුරාධපුර ය වීම විශේෂීය. පණ්ඩුකාභය රජු ප්‍රථම වරට අනුරාධපුරය සිය රාජධානිය බවට පත් කරගෙන ඇති අතරඑහි පාලනය ගෙන ගිය අවසාන රජු ලෙස සටහන් වන්නේ Vවන මිහිඳු රජතුමායි. ඒ අතර කාලයේ දී අනුරපුර රජකම් කළ රජ පිරිස සියයකට අධිකයි. ක්‍රි.පූ 6 වන සියවසේ පටන් ක්‍රි. ව 11 වන සියවසේ අග භාගය දක්වා මෙම රාජධානිය පැවත තිබේ. පණ්ඩුකාභය රජු දවස වන විට මුළු ආසියාවේ ම පැවති විධිමත් එකම නගරය අනුරාධපුරය බැව් ඇතැම් ඉතිහාඥයන්ගේ මතයයි. අදටත් එහි ඇති ශ්‍රී විභුතිය තුළින් ඓතිහාසික පෞඪ බව පසක් වේ.

අනුරපුරයේ පැවති ප්‍රතාපවත් බවත්, අනගීභවනීය වූ ඓතිහාසික වැදගත් බවත්, මහා වංශය ඇතුළු ශ්‍රී ලාංකික ඓතිහාසික මූලාශ්‍ර තුළ මෙන්ම විවිධ දේශාඨන වාර්තා වලද අන්තර්ගතව පවති. ක්‍රි.ව 415 - 434 කාලයේ තොරතුරු සඳහන් කරන පාහියන් භික්ෂුවගේ වාර්තා වලට අනුව අනුරාධපුර වාසය කර ඇත්තේ ඉහළ ආගමානුකුලත්වයක් සහිත මිනිසුන්ය. එවක සෑම මන්සංධියකම ධර්ම ශාලාවක් පැවති බව කියයි. පොහෝ දින වල නගරයේ නොවරදවා දන්ත ධාතුන් වහන්සේ ප්‍රදර්ශනය කර ඇත. අනුරපුර පාලනය කළ ඉංග්‍රීසි ඒජන්තවරයෙකු වූ ආර්. ඩබ්ලිව්. අයිවර්ස් සඳහන් කර ඇති පරිදි "නයිටන්"නැමැත්තෙකුගේ ග්‍රන්ථයෙහි අනුරපුර ශ්‍රී විභූතිය ගැන විග්‍රහකර තිබේ.

අනුරපුර රාජධානිය විවිධ ආක්‍රමණ වලට ලක් වේ.
ඉතා සමාකාමීවත්, ඉහළ ආගමික පරිසරයකුත් සහිතව පැවති අනුරාධපුර රාජධානියට කලින් කලට විවිධ ආක්‍රමණයන්ගෙන් තර්ජන එල්ල වී තිබේ. ක්‍රි. පූ 240 දී මළබාර් කුලී හේවායන් යොදා ගනිමින් මෙලක ආක්‍රමණය කිරිම දකුණු ඉන්දීයයන් අරඹයි. ක්‍රි. පූ. 100 දී ද නැවත වරක් මළබාර් ආක්‍රමණ සිදුව ඇත. ක්‍රි. ව 415 දී මෙන්ම ක්‍රි. ව 846 දී ද (I වන සේන රජු දවස)මළබාර් ආක්‍රමණ එල්ල වී ඇත. ක්‍රි. ව. 1001 දී සිදු වූ සොලී ආක්‍රමණත් ක්‍රි. ව 1215 දී මාඝ ආක්‍රමණත් ආදිය හේතු කොටගෙන අනුරාධපුර රාජධානිය විශාල පරිහානියකට පත්ව තිබේ. අභ්‍යන්තරික කැරලි කෝලාහල ද, මෙම පරිහානිය තවත් වේගවත් කිරිමට සමත් වූ යැයි හැඟේ. ඉංග්‍රීසීන් මෙරට යටත් කර ගන්නා සමයේ දී රජරට අඳුරු පාලන යුගයක්ව පැවතිණි. ගම්මාන 25 කට වැඩි නොවූ මෙම ප්‍රදේශය "වන්නිය" ලෙස ද හඳුන්වා තිබේ.

උඩරට රජු යටතේ සිදුවූ අනුරපුර පාලන රටාව.

වර්ෂ 1815 තෙක් නුවරකලාවිය (අනුරාධපුර) හා තමන්කඩුව (පොළොන්නරුව) යන ප්‍රදේශ උඩරට රජු යටතේ පාලනය වී තිබේ. නුවරකලාවියේ පාලනය සඳහා රජුගේ අනුදැනුම අනුව පත්කර ඇති නිලධාරියා හඳුන්වන ලද්දේ "දිසාවේ" නමිනි. මෙවක මෙම ප්‍රදේශය මුලින් සඳහන් පරිදි වන්නිය ලෙස හඳුන්වා ඇත. නමුත් එසේ හැඳින්වූයේ ඇයිද යන්න පිළිබඳව නිශ්චිත සඳහනක් හඳුනාගත නොහැක. දිසාවේ විසින් මෙම ප්‍රදේශ පාලනය කිරිමේ දී රාජ්‍ය භාණ්ඩාගාරයට මුදලක් ගෙවිය යුතු වී ඇත. උඩරට පාලනය, මෙබඳු ඈත ප්‍රදේශ හඳුන්වා ඇත්තේ "දිසාවන්නි" ලෙසයි. මේවා පාලනයේ දී දිසාවේ යටතේ "වන්නිඋන්නැහේ" යන තැනැත්තන් පත්කර සිටි අතර වන්නි උන්නැහේලාගේ ප්‍රධානියා වූයේ "මහ වන්නි උන්නැහේ" ය. මෙම වන්නි උන්නැහේලා අතරින් මහ වන්නි උන්නැහේට, දිසාවේ ට තිබුණු බලය භාවිත කළ හැකි වූ අතර ගම් ප්‍රදේශ කරා යාමේ දි නුවරකලාවියේ කොඩිය රැගෙන යාමටත්, පෙරහැරින් ගම කරා යාමටත් හැකියාව ලැබී තිබුණි.

සත්‍ය වශයෙන් ම උඩරට රාජධානියෙන් පත්කරන ලද දිසාවේවරු නාමමාත්‍ර පාලකයින් ලෙස කටයුතු කර තිබේ. එනම් දිසාවේවරු තමන්ගේ ප්‍රදේශයට පැමිණ ඇත්තේ කලාතුරකිනි. ඉද හිට හෝ පැමිණ ඇත්තේ ශ්‍රීමහා බෝධීන් වහන්සේ වැඳපුදා ගැනීම වැනි කටයුත්තක් සඳහා ය. එවැනි අවස්ථා වලදි තමන්ගේ බල ප්‍රදේශයේ ද රාජකාරියේ නිරත වී ඇත. අනෙක් සෑම කාලයකදීම වන්නි උන්නැහේ හෙවත් "රට කරවන්නා"සියලු සොයා බැලීම් කර තිබේ. වන්නි උන්නැහේලා පත්වන්නේ පරම්පරාවෙනි. 1745 දී නුවරකලාවිය භාර දිසාවේ ලෙස කටයුතු කර ඇත්තේ ඇහැළේපොළ විජේසුන්දර වික්‍රමසිංහ චන්ද්‍රසේකර සෙනවිරත්න ඒකනායක අමරකෝන් මුදියන්සේ ය. 1872 සිට 1898 දක්වා පිළිමතලාවේ අධිකාරම් මෙම ධුරය දරා තිබේ. පසුව ගංගොඩ, දුල්ලෑවේ, අයිත්නාලියද්ද ආදි නම් සඳහන් දිසාවේවරුන් නුවරකලාවියේ පාලන ගෙන ගොස් තිබේ.
නුවරකලාවිය මුලින් "පත්තු" වලට බෙදා තිබුණි. කිරලවපත්තුව, මාමිණියාපත්තුව, උදුරවපත්තුව, කලාගම්පත්තුව, මාටොඹුවාපත්තුව, උඩියන්කුලමපත්තුව, හුරුළුපත්තුව, මහපොතානපත්තුව ආදී වශයෙන් පත්තු වෙන්කර තිබුණි. පත්තුවක ප්‍රධානියා වන්නේ ඉහත දැක්වූ වන්නිඋන්නැහේ ය. පත්තුවක් තවත් උප කොටස් ගණනාවකට බෙදා තිබුණි. ඒවා "තුලාන්" ලෙස හඳුන්වා ඇත.තුලානක ප්‍රධානියා "කාරියකරවන්නා" විය. මේ කාලයේ මහවන්නියා පෙරටුකොටගත් වරිග සභාවක් ද පැවත ඇත. මෙයින් කුල විත්ති තීරණය විනැයි ඓතිහාසික මූලාශ්‍රවල සඳහන් වේ.

ශ්‍රී ලංකා සිවිල් පරිපාලනයේ ඇරඹුම

මෙරට සිවිල් පරිපාලනය ආරම්භ කරන්නේ ඉංග්‍රීසින් විසිනි. එය ශ්‍රී ලංකා සිවිල් සේවය ලෙස හඳුන්වා ඇත. පසුව එය ශ්‍රී ලංකා පරිපාලන සේවය ලෙස වෙනස් වී ඇත. ශ්‍රී ලංකා සිවිල් සේවය අරඹා ඇත්තේ ෆෙඩ්රික් නෝර්ත් ආණ්ඩුකාරවරයා විසිනි. මුල් යුගයේ මෙම සිවිල් පාලනය විවිධ හේතුන් නිසා පරිහානියට ලක්ව ඇත. 1833 වන විට එහි තදබල පිරිහීමක් දක්නට ලැබුණි. එය යථාතත්ත්වයට පැමිණීමට පටන්ගෙන ඇත්තේ 1837 පමණ කාලයේ දීය ය. 1844 පමණ වන විට එය ඉහළ සාර්ථකත්වයක් පෙන්නුම් කරයි.

සිවිල් පරිපාලනය හා අනුරාධපුරය.

කොල්බෘෘක් හා කැමරන් පරිපාලන ප්‍රතිසංස්කරණ මත පරිපාලනය පිළිබඳ සොයා බැලීමෙන් අනතුරුව නුවරකලාවිය හා තමන්කඩුවට උඩරට කොමසාරිස් මණ්ඩලයක් පත්කර තිබිණි. 1833 න් පසුව ආණ්ඩුවේ ඒජන්තවරු පත්කරන ලදි. ඒ ලංකාව පළාත් 5කට බෙදීමෙන් අනතුරුවයි. එම ඒජන්තවරු යටතේ උප ඒජන්තවරු පත්කර ඇත. උතුරු පළාතේ ඒජන්තවරයා වූයේ පී. ඒ. ඩයික් මහතා ය. පසුව පිළිවෙලින් 1867 දී එච්. එස්. බී. රසල්, 1868 දී ඩබ්ලිව්. සී. ට්වයිමන් පත්ව ඇත.
1833දී උතුරු පළාතට අනුබද්ධ නුවරකලාවියේ පළමු උප ඒජන්තවරයා වන්නේ ලුතිනන් මැගාස්කිල් මහතා යි (Macgaskil). නුවරකලාවියේ සහකාර ඒජන්ත කාර්යාලය පිහිටු වීමට මුලින් ම තීරණය කර ඇත්තේ සෞම්‍ය ප්‍රදේශක් වූ රිටිගල ය. නමුත් එය අනුරාධපුරයේ පිහිටු වීමට ඩයික් (උතුරු පළාත් ඒජන්ත) තීරණය කළ නිසා එය අනුරාධපුරයේ ස්ථාපිත කෙරිණි. එවක අනුරපුර සහකාර ඒජන්ත කාර්යාලයේ ආරම්භක ස්වරූපය පහත විස්තරයෙන් හඳුනාගත හැකිය.

"උසාවිය, කච්චේරිය ඇතුළු සහකාර ඒජන්ත කාර්යාල ඒකකයට ලිපිකරුවෙක්, තෝල්කයෙක් (භාෂා පරිවර්තකයෙක්) අයකැමියෙක්, කාර්යාල කාර්ය සහයකවරු (පියන් මහත්වරු)තිදෙනෙක් ද අයත් වූහ." (එදා වැව් බැදි රාජ්ජේ - ආර්. ඩබ්ලිව්. අයිවර්ස්)
මෙය සේවා කටයුතු වලට ඉතා අපහසු තැනක් වූ අතර විසිනව හැවිරිදි මැගාස්කිල් මින් දැඩි පීඩාවකට පත්ව සිට ඇතැයි සඳහන් වේ. කොහොම නමුත් මේ කාලයේ දී (1834) මුලින් සිටි දිසාවේ යන තනතුර අහෝසි විය. ඒ වෙනුවට නැගෙනහිර, බටහිර හා දකුණු දිසාව සඳහා රටේ මහත්වරු පත්කර තිබේ.
මැගාස්කිල්ගෙන් පටන් ගත් සහකාර ඒජන්ත කාර්යයේ නිරත වූ සහකාර ඒජන්තවරු හැටියට 1835 වෝකර්, 1836 ලැමර්ට්, 1837 මයිලියස්, 1842 මර්සර්, 1842 පුරප්පාඩුවී, 1845 කෙනත් මැකන්සි, 1847 ජේ. ජේ. ට්‍රාන්චෙල්, 1849 පී. ඩබ්. බ්‍රේබෘෘක්, 1850 ඒ. ඒ. බ්‍රෝඩ්, 1853 ජේ. එන් නෝර්ත්මෝර්, 1854 ජේ. එල්. ෆැලැන්ඩර්කා, 1861 ආර්. මොරිස්, 1863 ජේ. එල්. ෆැලැන්ඩර්කා, 1866 එච්. පෝල්, 1867 ජී. ඩබ්. පැටර්සන්, 1869 ඇල්. ලීසින්ග්, 1871 ටී. ඩබ්. රීස් ඩේවිඩ්ස්, 1972 එච්. හේ. කැමරන්, 1873 එච්. එෆ්. ඩික්සන් යන අය පිළිවෙළින් පත්විණි.
1838, 1839 කාලයේ දී කච්චේරිය අලුතින් සකසා ඇත. උසාවි ගොඩනැගිල්ලත්, කච්චේරියත්, ලෝවාමහාපායට උතුරින් වූ භුමි භාගයක එලෙස නිමවා තිබේ. 1856 දී නුවරකලාවියේ සංචාරයක නිරත "හෙන්රි වෝඩ්" ආණ්ඩුකාරවරයා කච්චේරිය පිළිබඳ ප්‍රකාශ කර තිබේ. ඔහුට අනුව එය පැවත ඇත්තේ අබලන් තත්ත්වයකයි. එහි වහළය අතින් ඇල්ලිය හැකි මට්ටමේ උසකින් යුත් එකකි.
පරිපාලනමය පහසුව සඳහා 1873 දී වෙනම පළාතක් ලෙස නුවරකලාවිය හා තමන්කඩුව එක්කොට උතුරු මැද පළාත ස්ථාපිත කරයි. එතැන් සිට නුවරකලාවිය පාලනය වීම නතර විය. ඒ අනුව උතුරු මැද පළාතේ ප්‍රථම ඒජන්තවරයා වූයේ ජේ. එෆ් ඩික්සන් මහතා ය. අලුතින් නම්කළ උතුරු මැද පළාත වර්ග සැතපුම් ප්‍රමාණය 4384 කී. මේ වකවානුවේ දී අනුරාධපුර නගරයේ බෞද්ධ ස්මාරක සියල්ලක්ම කැලෑවට යටවි තිබුණි. කච්චේරියත්, ඉංග්‍රීසි නිලධාරියාගේ නිවසත්, කුඩා ගෙවල් කීපයකුත් පමණක් එහි දක්නට ලැබී ඇත. 1955 සිට උතුරු මැද පළාත ප්‍රධාන දිස්ත්‍රික් දෙකකට බෙදයි. ඒ අනුරාධපුර සහ පොළොන්නරුව වශයෙනි.1881 වන විට නුවරකලාවියේ ජනගහණය ගම්මාන 994 ක් ලෙසත්, නිවාස 14013 ක් ලෙසත් 61,000 ක ජන ගහණයකුත් වාසය කර ඇත. 1891 දී ගම්මාන සංඛ්‍යාව 1021 දක්වා වැඩි වී තිබේ. නිවාස සංඛ්‍යාව 16859 කි. ජනගහණය 69302 ක් දක්වා වැඩි වි තිබේ. 1871 වන විට අනුරාධපුර නගරයේ පමණක් වාසය කළ ජන සංඛ්‍යාව 196 කි. අනුරාධපුර බෞද්ධ පුනර්ජීවනයට කටයුතු කළ වලිසිංහ හරිස්චන්ද්‍ර මහතා සිය උද්ඝෝෂණ ව්‍යාපාර පටන් ගත් කාලයේ (1901) නගරය තුළ ජන පිරිස 1210 කි.
උතුරු මැදට පළමුව සිංහල ඒජන්තවරයෙක් පත්වන්නේ 1931 වර්ෂයේ දී ය. ඔහු නමින් සී. එල් වික්‍රමසිංහ යි. (මොහු වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සීයා ය.) සී. එල් වික්‍රමසිංහ මහතා 1931 සිට 1934 දක්වා ඒජන්තවරයා ලෙස රාජකාරි ඉටුකර තිබේ. එලෙස ඉංග්‍රීසී පාලන සමයේ ම සිංහල ඒජන්තවරයකු පත්වීම සුවිශේෂි තත්ත්වයකි. ඉන් පසුව 1948 නිදහස ලැබීමට පෙර සිංහල ඒජන්තවරුන් ලෙස පත්ව ඇත්තේ තවත් දෙදෙනෙකු පමණි. ආර්. අලුවිහාරේ හා එස්. වී. අමරසිංහ යන මහත්වරුන් ය. නිදහසින් පසුව අනුරාධපුර පරිපාලන ප්‍රධානීන් ලෙස රාජකාරි කළ දිසාපතිවරුන් සංඛ්‍යාව 27 කි. දැනට එම ධූරය හොබවනු ලබන්නේ වසර 35 ක පමණ දිගු කාලයක පරිපාලන අද්දැකීම් වලින් සමන්විත පරිපාලන නිලධාරියෙකු වන ඩී. පී. ජී. කුමාරසිරි මහතා යි.

නුවරකලාවිය පිළිබඳ ඉංග්‍රීසී පරිපාලකයින්ගේ අදහස් හා විශේෂතා

සුදු ජාතිකයින් නුවරකලාවියේ පරිපාලනය කෙලින්ම සිය පාලනයට ගෙන ඇත්තේ 1833 සිට ය. එතැන් සිට විවිධ වෙනස්කම් සිදුකරමින් පරිපාලන ක්‍රියාවලිය දියත්කර ඇත. උතුරු පළාතින් පාලනය වූ අනුරාධපුරය 1873 සිට වෙනම පළාතකට වෙන් කෙරිණි.ඒ නුවරකලාවිය හා තමන්කඩුව එක්කර උතුරු මැද පළාත පිහිටුවීමත් සමගයි. පසුකාලීනව මෙම පරිපාලන රටාව දිස්ත්‍රික් වශයෙන් බෙදෙන්නට විණි. මෙලෙස සිදුවූ පරිපාලනමය වෙනස්කම් අතරතුර දී ඉංග්‍රීසි පරිපාලකයිනට නුවරකලාවියේ දී විවිධ විශේෂතා වලට මුහුණ දීමට සිදු වූ අතර ඔවුන් ඒ පිළිබඳව අදහස් ද දක්වා තිබේ. නුවර කලාවියේ ජනතාව අනෙකුත් ප්‍රදේශවල ජනතාවට වඩා ඉතා සාමකාමී පිරිසක් බැව් 1973 දී උතුරු මැද පළාතේ ප්‍රථම ඒජන්තවරයා බවට පත්වූ ජේ. එෆ්. ඩික්සන් මහතා ප්‍රකාශකර ඇත. ඔහුට අනුව නුවරකලාවිය තුළ සාමය රැකීමට පොලිස් සේවා අවශ්‍ය නොවී ය. 1896 වන තෙක්ම නුවකලාවියේ රාජකාරි සඳහා පොලීසිය යොදාගෙන නැතැයි සඳහන් වේ. ඉංග්‍රීසී පරිපාලන නිලධාරින්ගේ ම අදහස් වලට අනුව නුවරකලාවියේ ජනතාව සාමකාමී මෙන්ම ආගමානුකූල ජනතාවකි. 1870 දී මෙහි දිස්ත්‍රික් මහේස්ත්‍රාත්වරයා ලෙස සේවයේ නියුතු වු "ලීගන්ස්" නම් නිලධාරියා විසින් පොසොන් වන්දනාවේ පැමිණි ජනයා පිළිබඳව ඉදිරිපත්කර ඇති පහත අදහස් හරහා මෙහි ජනතාවගේ සාමකාමී බවත්, ආගමානුකුල බවත්, හෙළිවේ.
"නන් දෙසින් මෙහි පැමිණි විසිදහසක පමණ ජනයා හැසිරවීමට එකම පොලිස් කොස්තාපල්වරයකු හෝ සිටියේ නැත.දිස්ත්‍රික් මහේස්ත්‍රාත් වශයෙන් මට කිව හැක්කේ ඔවුන්ගේ නිවුණු හා ප්‍රශංසනීය හැසිරීමට සමාන හෝ එය අභිබවා ගිය හැසීරීමක් හෝ මා තවම දැක නොමැත..." 1834 දී විල්මට් හෝර්ටන් ආණ්ඩුකාරවරයා අනුරාධපුර නටඹුන් බැලීමට එනවිට දඹුල්ල, මාතලේ හරහා වැටී තිබූ නුවර පාර ජනයාගෙන් පිරි සිටි බවද, ඒ අන් කිසිවක් සඳහා නොව ශ්‍රීමහා බෝධීන් වහන්සේ වැදපුදා ගැනීමට බවද ලුතිනන් ස්කිපර් සඳහන් කර තිබේ.
අනුරාධපුර රාජධානිය විවිධ ආක්‍රමණ වලට මුහුණ දුන්නා මෙන්ම ඉංග්‍රීසි පාලන සමයේ දී විශේෂයෙන් ම මහාමාරිය, උණ රෝගය, පරංගි වැනි වසංගත ව්‍යාප්ත වී ඇත. මේ නිසා විශාල පිරිසක් මියගොස් තිබේ. මෙම රෝගය නිසා නුවරකලාවියේ කුංචුට්ටු කෝරළයේ හා කඩවත් කෝරළයේ ඇතැම් ප්‍රදේශවල ජනතාව ගම් පිටින් විනාශ වූ බවද සඳහන් වේ. මෙහි භයානකකම දුටු නුවරකලාවියේ ඉංග්‍රීසි පරිපාලකියින් නිරන්තර සේවයේ යෙදීම ද අතහැර දමා තිබේ. පහසුකම් අඩුවීම ද ඊට හේතු වී ඇත

"මහා මාරියාව, උණ රෝගය, ඥාතීන් අතර කෙරෙන විවාහය ආදිය හේතුකරගෙන ඇතිවිය හැකි ජාන දුර්වලතා ආදිය නිසා සිංහලයන්ගේ සංඛ්‍යාව ක්‍රමයෙන් අඩු වී ගොස්....." (ශ්‍රීමත් හෙන්රි වෝඩ් - 1856)
"මේ කාඩි බොර වතුර කොතරම් ඝනදැයි කිවහොත් අපි දෝතින් උඛහාගෙන වතුර බොද්දී ඒ වතුරේ වූ නාවර අපේ රැවුල දිගේ පෙරී පහළට ලිස්සා වැටෙන්නට විය….." (රොබට් නොක්ස් - එදා හෙළ දිව)
1861 දි නුවරකලාවියේ පරිපාලනය ගෙන ගිය ආර්. ඩබ්ලිව්. අයි. මොරිස් කළ සඳහනකට අනුව 1860 දී නියඟයකට ද මුහුණ දී තිබේ. කුරුණෑගල දිස්ත්‍රික්කයේ ආහාර හිඟය සන්සිදුවීමට එවක දී නුවරකලාවියේ මිනිසුන් කුරක්කන් බුසල් දසදහසක් කුරුණෑගලට යැවීමට කටයුතු යෙදු බව ද සඳහන් වේ. මොරිස් ඒජන්තවරයා වල් අලි මැරීමට උනන්දුව දැක්වූවකු හෙයින් එලෙස වන වැදුණු අවස්ථාවක දී වනයේ අතරමං වී දිවි ගලවාගෙන ඇත්තේ ඉතා අසීරුවෙනි. එමෙන්ම මොරිස් සහකාර ඒජන්තවරයා අනුරාධපුර කච්චේරි ගොඩනැඟිල්ලේ ඉස්තෝප්පුවේ සිටම අසල වනයේ සිටි මුවෙකුට වෙඩි තැබූ පුවතක් ද පවතී. මෙයින් අනුරාධපුර නගරය අවට පවා කැලෑබඳ ප්‍රදේශ ලෙස පැවති බව තහවුරු වේ. රොබට් නොක්ස් විසින් කන්ද උඩරට රාජ්‍ය පදනම් කරගෙන සකසා ඇතැයි සඳහන් සිතියමේ ද නුවර කලාවිය පෙන්වා ඇත්තේ වනාන්තර ප්‍රදේශයක් ලෙසිනි. 1945 දී අලියකු මැරීමට සිලිං 10 ක මුදලක් ගෙවූ බව කියන සඳහනක් ද තිබේ. එහෙත් ඒ පිළිබඳ පැහැදිලි මුලාශ්‍ර නොමැත්තේ ය.
සමාජ සුබසාධන කටයුතු ආදිය ද පදනම් කරගත් නුවරකලාවියේ සංවර්ධන ක්‍රියාදාම ඉංග්‍රීසි පාලන සමයේ ආරම්භ වී තිබේ. 1848 මාර්ග පනත සම්මත කරගෙන ඇත. එහි දිස්ත්‍රික් කමිටුවක් අනුරාධපුරයට පත්කරගෙන ඇත්තේ 1849 දී යි. එයින් අනුරාධපුර අතුරු මාර්ග කිහිපයක්ම ඉදිකර ඇත. මීට අමතරව කලාවැව, බළලුවැව, නාච්චාදූව, තිසාවැව ආදියේ ප්‍රතිසංස්කරණ කටයුතු නිසා කෘෂිකර්මාන්තයේ ද නැග්මක් ඇති විය. ඒ. ඕ. බ්‍රෝඩ් මහතා (1856 - 1858) දක්වා ඇති අදහස් වලට අනුව එවක වැඩියෙන් ම වගාකර ඇති වී වර්ග වන්නේ මුදු කිරිගල්, රත්හාල්, දික් වී. බටු කිරිගල්, බාල මා වී, මුරුංගා ආදිය යි. වී වගාවට පොහොර භාවිතයක් සිදුකර නැත. නුවරකලාවියේ පවත්නා සමහර සංවර්ධන ක්‍රියාදාමයන්ට මුලපුරා ඇත්තේ ඉංග්‍රීසි පාලන සමයේ දි බව 1979 සිට 1990 දක්වා අනුරාධපුර දිසාපතිවරු ලෙස සේවය ඉටුකළ ටී.කේ. දසනායක මහතා සඳහන් කර තිබේ. ආතර් ගෝර්ඩන් ආණ්ඩුකාරවරයාගේ සමයේ දී මැලේරියා හා පරංගි රෝග මර්දනයට ග්‍රාමීය බෙහෙත් ශාලා අරඹා ඇත. අනුරාධපුර පළමු පාසල 1850 දී ආරම්භ වුවායි කියයි. එහිදී (1874 - 1876) කාලයේ පැමිණි ගම්සභා පනත යටතේ පාසල් නොයන දරුවන්ට දඩ නියම කිරිමක් ද සිදුකළ බව කියැවේ. පැළ සිටුවීමට ජනයා උනන්දු කරවා ඇති අතර කොස්ගස් වැවීම මෙහිදී ප්‍රමුඛව සිදුව තිබේ.

අනුරාධපුර වර්තමාන පරිපාලන ව්‍යුහය.

ශ්‍රී ලංකාව වර්තමානයේ දි පළාත් 9 කට බෙදා පාලනය කරන අතර උතුරු මැද පළාත භූමි ප්‍රදේශයෙන් විශාලතම පළාතයි. දිස්ත්‍රික් 25 න් විශාලතම දිස්ත්‍රික්කයද අනුරාධපුර දිස්ත්‍රික්කය වේ. දිස්ත්‍රික්කයේ වර්තමාන මුළු බිම් ප්‍රමාණය වර්ග කිලෝමීටර් 7179 කි. එයින් මාර්ග කිලෝමීටර් 6664 ක් ගොඩබිම ලෙසත්, වර්ග කිලෝමීටර් 515 ක් අභ්‍යන්තර ජලාශ ලෙසත් වෙන් වී පවතී.
1881 දී නුවරකලාවියේ ජනගහණය 69000 ඉක්මවීය. නමුත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ වර්තමාන ජනගහණය 856232 කි. ඔවුන් ගම්මාන 2601 කටත්, පවුල් 244392 කටත් අයත් වේ.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ වර්තමාන පරිපාලන කේන්ද්‍රස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය යි. නගර මධ්‍යයයේ පිහිටා ඇති මෙම සුවිශාල ගොඩනැඟිල්ල 1954 වර්ෂයේ ඉදිකළ එකකි. දිස්ත්‍රික්කයේ පරිපාලන ප්‍රධානියා දිස්ත්‍රික් ලේකම් (මහ දිසාපති) ලෙස හඳුන්වයි. මධ්‍යම රජය සමග සම්බන්ධවෙමින් දිස්ත්‍රික්කයේ සෑම ක්ෂේත්‍රයකම තත්ත්වය පැහැදිලි කිරිමේ හා ප්‍රගතිය දැනුම් දීමේ පරිපාලනමය වගකීම දිස්ත්‍රික් ලේකම්වරයාට පැවරේ. පරිපාලන ව්‍යුහයට අනුව අතිරේක දිස්ත්‍රික් ලේකම්වරුන් දෙදෙනෙකු හා සහකාර දිස්ත්‍රික් ලේකම්වරයෙකු ද රාජකාරියේ නිරත වේ. දිස්ත්‍රික් ලේකම්වරයාගේ අනුදැනුම මත එම නිලධාරින් ද විවිධ පරිපාලනමය රාජකාරීන් හි නිරත වේ. විවිධ අමාතයාංශ හා දෙපාර්තමේන්තුවලට අදාල දිස්ත්‍රික් නිලධාරින් රැසක් කටයුතු කරන්නේ ද දිස්ත්‍රික් ලේකම් කාර්යාලය තුළය. එසේ නොමැති වුවත් සෑම රජයේ ආයතනයක් ම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා සම්බන්ධීකරණයෙන් කටයුතු කිරිමට වගබලා ගනී.
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 22 ක් පවතී. (මුල්කාලීනව ප්‍රදේශීය ලේකම් කොට්ඨාස 23 ක් ලෙස සටහන් වුවද පසුව වැලිඔය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මුලතිව් දිස්ත්‍රික්කයට එක්කරන ලදි.) නැගෙනහිර නුවරගම් පළාත, මධ්‍යම නුවරගම් පළාත, නාච්චාදූව, පලාගල, විලච්චිය, නොච්චියාගම, රාජාංගනය, තිරප්පනේ, කැකිරාව, ගල්නෑව, තලාව, තඹුත්තේගම, රඹෑව, මිහින්තලේ, කහටගස්දිගිලිය, හොරොව්පොතාන, ගලෙන්බිදුණුවැව, පදවිය, මැදවච්චිය, කැබිතිගොල්ලෑව, පලුගස්වැව, ඉපලෝගම වශයෙන් එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වෙන්කර ඇත. එහි පාලනය ප්‍රාදේශීය ලේකම්වරයකු යටතේ සිදුවන අතර සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකටම සහකාර ප්‍රාදේශීය ලේකම්වරයෙකු ද පත්කරයි.
ඔවුන්ගේ පරිපාලනය යටතේ ග්‍රාමනිලධාරින්, සංවර්ධන නිලධාරින්, සමෘද්ධි නිලධාරින්, ගොවිජන සංවර්ධන නිලධාරින් ඇතුළු ක්ෂේත්‍ර ගණනාවකට සම්බන්ධ ක්ෂේත්‍ර නිලධාරින් පිරිසක් සිය රාජකාරියේ නිරත වේ. ඔවුන් ප්‍රාදේශීය ලේකම්වරයා සමග සම්බන්ධ වන අතර එම තොරතුරු ප්‍රාදේශීය ලේකම්වරයා විසින් දිස්ත්‍රික් ලේකම්වරයාට දැනුම් දෙයි. ඒවා මධ්‍යම රජය සමග සම්බන්ධිකරණය කරන්නේ දිස්ත්‍රික් ලේකම්වරයා විසිනි.
ප්‍රාදේශීය ලේකම් කාර්යාල යටතේ ග්‍රාම නිලධාරි කොට්ඨාහ 694 ක් පවති. ග්‍රාමීය වශයෙන් වන මූලික පරිපාලන ව්‍යුහය ක්‍රියාවට නන්වන්නේ ග්‍රාමනිලධාරිවරුන් මඟිනි.
මේ හැරුණුකොට රජය මගින් ක්‍රියාත්මක කරන, විවිධ වැඩසටහන් මෙන්ම දෙස් විදෙස් රාජ්‍ය නායකයින් දිස්ත්‍රික්කයට පැමිණෙන අවස්ථාවේ දී ඔවුන් සමග සම්බන්ධීකරණය ද දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මඟින් සිදුකෙරේ. විශේෂයෙන්ම පෙර සිට පැවතියාක් මෙන් බෞද්ධ සිද්ධස්ථාන සමඟ විශේෂ සබඳතාවයක් දක්වයි. සර්ව ආගමික සබඳතා පවතී.
1833 න් පටන් ගත් ඍජුව ඉංග්‍රීසින්ගෙන් නුවරකලාවිය පාලනය වීම පටන් ගත්, දැනට විවිධ වෙනස්කම් වලට ලක්වූ අනුරාධපුර පරිපාලනය මේ වන විට වසර 180 ද ඉක්මවා තිබේ.
ෂෙල්ටන් බණ්ඩාර
රජයේ ප්‍රවෘත්ති නිලධාරී
අනුරාධපුරය
  

ආශ්‍රිත ග්‍රන්ථ හා ලිපි

1. එදා හෙළදිව - රොබට් නොක්ස්

2. බ්‍රිතාන්‍යයන් යටතේ උතුරු මැද පළාත - උක්කු බණ්ඩා කරුණානන්ද

3. අභයගිරි පර්යේෂණ - මහාචාර්ය ටී. ජී. කුලතුංග

4. අනුරාධපුර සංස්කෘතිය - මහාචාර්ය ඒ. වී. සුරවීර

5. මහමෙව්නාවේ මහා විහාරය - මහාචාර්ය ටී. ජී. කුලතුංග

6. නුවරකලාවිය - නිදහස් සමරු කලාපය - 1982 (රජරට සේවය)

7. එදා වැව් බැදි රාජ්ජේ - ආර්. ඩබ්ලිව්. අයිවර්ස්

8. Ancient Anuradhapura - AnuradhaSeneviratna

9. Sections of the book of Ceylon