*


සඳ හිරු සෑ රදුන්ගේ හතරැස් කොටුවෙහි නිධන් වස්තු තැන්පත් කිරීමේ පුණ්යෝත්සවය.

ඉදිවෙමින් පවතින සඳහිරු සෑ රදුන්ගේ හතරැස් කොටුවෙහි ධාතූන් වහන්සේ නිධන් කිරීමේ පුණ්යෝත්සවය 2021/03/28 වෙනි පුන් පොහොය දින පැවැත්විණි. පළමුව අලංකාරවත් පෙරහැරකින් ධාතූන් වහන්සේ සඳහිරු සෑ පරිශ්‍රය වෙත වැඩමවනු ලැබීය. නුදුරේදී සදහිරු සෑ මස්තකයෙහි දිදුලන්නට නියමිත චූඩා මාණික්ය ද එම අවස්ථාවට වැඩමවීම විශේෂත්වයකි. මෙම පෙරහැර පැවැත්වීම පෙර රජ දවස මෙම වතාවත් සිදුකළ ආකාරය සිහිපත් කළේ ය. 

පැමිණි සැදහැති පිරිස පංචශීලයෙහි පිහිටුවනු ලැබුවේ ඉන් අනතුරුවයි. පසුව උතුරු මධම දෙදිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක හා ලංකාරාමාධිකාරී පූජ්‍ය රළපනාවේ ධම්මජෝති නායක හිමිපාණන් වහන්සේ විසින් අනුශාසනාවක් කරන ලදහ. එහිදී උන්වහන්සේ අවධාරණය කළේ, අටමස්ථානාධිපති නායක හිමිපාණන් වහන්සේගේ හා සියලුම හිමිපාණන් වහන්සේලාගේ ආශීර්වාදය මැද මෙම චෛත්‍ය ඉදිකිරීම යුගයේ කටයුත්තක් බවයි. මෙයින් විරෝධාර රණවිරුවන් ට දක්වන කෘත ගුණය ඉතා වටිනා බවද උන්වහන්සේ කියා සිටියා. මෙවන් කටයුත්තක් සිදුකිරීමට තීරණය කළ වත්මන් අතිගරු ජනාධිපතිතුමා සහ ගරු අගමැතිතුමා ඇතුළු මීට සම්බන්ධ සියලුම පාර්ශවයන් මහා සංඝරත්නය වෙනුවෙන් ධම්මජෝති හිමියන්ගේ පැසසුමට පාත්‍ර විය. 
 

මෙහිදී අදහස් දැක් වූ ආරක්ෂක ලේකම් ජනරාල් කමල් ගුණරත්න මහතා පෙන්වා දුන්නේ රණවිරු දෑතින්, රණවිරු මුදලින් ඉදිවන මෙම චෛත්‍ය රාජයාණන් වහන්සේ දැක සුවහසක් ජනතාවට අනාගතයේ දී මෙරට උදාරත්වය සිහිපත් කළහැකි වනු ඇති බවයි.  ඉන් පසු යෙදී තිබූ සුබ මොහොතින් සෙත් පිරිත් සජ්ඣායනා හා මහා සංඝරත්නයේ ආශිර්වාද මැද ඒ මහතා විසින් ධාතූන් වහන්සේ නිධන් කිරීමේ උතුම් කටයුත්ත ආරම්භ කරන ලදි. 

ආරක්ෂක ලේකම් ජනරාල් කමල් ගුණරත්න මහතා නිදන් වස්තු තැන්පත් කිරීමෙන් අනතුරුව හමුදා ප්‍රධානීන් , දේශපාලනඥයින් ඇතුළු විශාල පිරිසක් සදහිරු සෑ හතරැස් කොටුවෙහි නිධන් වස්තු තැන්පත් කරනු ලැබුහ. අපහසුතාවක් පැවැතිය ද හතරැස් කොටුව වෙතම ගොස් මෙම පුණ්ය අවස්ථාවට සම්බන්ධ වීමට විශාල සැදැහැති පිරිසක් සෑ රද සලපතල මළුවෙහි රැදී සිටිනු ද දක්නට ලැබුණි.  


විසි එක්වන සියවසේ ලොව ඉදිවන විශාලතම දාගැබ ලෙස තිස්වසරක යුද්ධය නිමා කර මානුෂීය මෙහෙයුමින් රට නිදහස් කිරීම සංකේතවත් කරමින් මෙම දැගැබ ඉදිවේ. වැඩ අවසන් වන විට දාගැබේ උස අඩි 281කි. රුවන්මැලි මහ සෑයේම ආකෘතියට එහෙත් එම සෑයට වැඩා අඩි 18ක් අඩු උසකින් නිර්මාණය වන සඳහිරු සෑය විෂ්කම්භයෙන් අඩි 255කි. 

දාගැබට මුල්ගල තැබුණේ 2010 නොවැම්බර් 22 වැනිදායි. ගර්භයේ ධාතු නිධාන උත්සවය භික්ෂූන් දහස් ගණනක් සහභාගි වූ රාජකීය උලෙළක්ව පැවැතියේ 2014 නොවැම්බර් 23 වැනිදායි. මෙය සදා නිමකරන විට දාගැබට ගඩොල් කෝටි දෙක හමාරක්, අලුහුණු මෙට්රික් ටොන් 11,165ක්, සිමෙන්ති කොට්ට 171,000ක්, සහ වැලි කියුබ් 15,000 ක් වැය වෙතැයි අපේක්ෂා කර ඇත. යුද්ධයේ දී මිය ගිය 27,000ක්  වූ රණවිරුවන්, අතුරුදන් වූ 4500ක්, ආබාධිත වූ 37,000ක්. මිය ගිය ජන නායකයන් හා ඊට කැප වූ සියලු ජනතාව සිහිකිරීම උදෙසා මෙම සෑය ඉදි කරනු ලබන්නේ ලංකා ඉතිහාසයේ වසර 865කට පසුවයි. මීට පෙර මහසෑයක් ඉදිවුණේ පොලොන්නරු යුගයේ දී එනම් ක්‍රි.පු. 152-186 සමයේ මහා පරාක්‍රමබාහු රජු විසිනි. එය දෙමළ මහා සෑයයි. මෙම අනුස්මරණීය සඳහිරු සෑ රදුන්ගේ ඉදිකිරීම් වලින් සියයට හැත්තෑපහක් පමණ අවසන්ව ඇති නිසා සැහැදැති ජනතාවට මෙම දැගැබ් අවහන්සේ වැද පුදා ගැනීමට නුදුරේදීම හැකියාව ලැබෙනු ඇති.

සඳහිරු සෑයේ දේවතා කොටුවෙහි ඉදිකිරීම් ආරම්භ කරයි. - 2021/06/16 දින.

            සඳහිරු සෑයේ දේවතා කොටුවේ ඉදිකිරීම් මේ වන විට ආරම්භ වී ඇත. දේවතා කොටුවෙහි දේවතා රූප ගඩොලින්ම නෙලීම මෙහි ඇති විශේෂත්වයකි. සෑයේ කපරාරු කිරීමේ කටුයුතු ද අරඹා ඇති අතර සළපතල මළුවේ කොටසක ගල් ඇතිරීම ද අවසන් කර ඇත.  එළඹෙන නොවැම්බර් මාසයේ අග භාගය වන විට ඉදිකිරීම් අවසන් කිරීම අපේක්ෂාවයි.

 මෙම අනුස්මරණීය සදහිරු සෑ රදුන්ගේ ඉදිකිරීම් වලින් වැඩි කොටසක් අවසන්ව ඇති නිසා සැහැදැති ජනතාවට මෙම දැගැබ් වහන්සේ වැද පුදා ගැනීමේ අවස්ථාව නුදුරේ දී ම උදාවනු ඇති.

මේ අතර සදහිරු සෑ ස්තූපය ගල් කැටයම් රාශියකින් අලංකාරවත් වේ. කැටයම් පවුර , සමාධි බුද්ධ ප්රතිමා , පිළිම ආසන , සඳකඩ පහන, මුරගල් , කොරවක් ගල් , පියගැටපෙළ , පුන්කළස් , මල් ආසන , සලපතල මළුව සදහා කළුගල් පුවරු , ආදිය මීට ඇතුලත් ව ඇත.


සඳහිරු සෑ චෛත්‍ය බොදු වන්දනය උදෙසා සඟ සතු කොට පූජා කිරීමේ මහා පිංකම 2021/11/18 දින සිදුවිය.

21 වන සියවසේ නිර්මාණය වූ දැවැන්තම බෞද්ධ සිද්ධස්ථානය - සඳහිරු සෑය


 
ස්ථූප නාමාවලියට තවත් නමක්.

 

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ප්‍රමුඛ කරගත් අනුරාධපුර පූජා නගරයේ බෞද්ධ සිද්ධස්ථාන අතර ස්ථූපයන්නට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයක්.වෙල් යාය,ඉන් උඩට තුරු මුදුන්,ඉන් උසට කිරි සුදින් බැබළෙන දාගැබ්,ඉන් උඩට මහා මේඝ, ඉන් උඩට නීල ආකාසය ආදී දසුන් අදියෙන් මේ පූජා නගරයට පැමිණෙන බැතිමතුන්ගේ නෙත් හරහා සිත් වලට නිරාමිස සුවය පැමිණෙන්නේ නිරායාසයෙන්. රුවන්වැලිමහාසෑය, අභයගිරිය, ජේතවනාරාමය, මිරිසවැටිය, ලංකාරාමය, ථූපාරාමය යනාදිය මේ නගරයේ පිහිටා ඇති චෛත්‍ය සමූහය යි. මෙම අනුරාධපුර දාගැබ් වංශ කතාවට 21 වන සියවසේ දී තවත් මහානර්භ දාගැබ් වහන්සේ නමක් 2021/11/18 දින එක් විය. සඳ හිරු තරු පවතින තුරු පවතීවායි, ප්‍රාර්ථනා පෙරදැරිව සඳහිරුසෑයමේ මස 18 වනදා සුබ මොහොතින් සඟ සතු කොට පූජා කිරීම සිදුවිය.

 

සඳහිරුසෑය ඉදිකිරීමේ නිමිත්ත


තිස් වසරක යුද්ධය නිමා කරමින් සිරිලක් දේශය ත්‍රස්තයන්ගෙන් මුදාගෙන විජයග්‍රහණය කළේ 2009 වසරේ මැයි මස 19 වනදායි. මේ මහා යුද්ධයට අපේ රණ ශූරයින් 29000 ක පමණ පිරිසක් සිය ලය පිදූහ. තවත් 37000 ක පමණ රණවිරුවන් පිරිසක් තුවාල ලැබූහ. ඒ නිසාම මේ මහා දාගැබ ඉදිකිරීමේ අරමුණ වූයේ අනාගත පරපුර උදෙසා සුරක්ෂිත රටක් ඉතිරි කිරීමට එලෙස අමිල කැපකිරීමක් කළ රණවිරුවෝ සදා අනුස්මරණය කිරීම යි. කාටත් කුතුහලයක් වූ යුද්ධයේ නිමාව වීරෝධාර රණවිරුවන්ගේ ආශ්චර්යමත් වික්‍රමයකි. එය අනාගත පරපුරට බෞද්ධ සංකේතයක් ලෙස පෙන්වීමට ගත් මහා ප්‍රයත්නය යි, මෙලෙස සාර්ථක වී තිබෙන්නේ.

සියලු ඉදිකිරීම් රණවිරුවන් අතින්ම


යුධ ජයග්‍රහණය සැමරීම මෙන්ම ඒ වෙනුවෙන් දිවි පිදූ තුවාල ලැබූ රණවිරුවන් අගය කරනු වස් ඉදි වූ මේ දාගැබේ සියලු කාර්යයන් සිදුකරනු ලැබුවේ වීරෝධාර රණවිරුවන් අතින්ම වීම සුවිශේෂී වේ. හැකි අවස්ථාවන් හි රටේ සාමාන්‍ය ජනයා ද මේ වෙනුවෙන් ශ්‍රම දායකත්වය සැපයී ය. එහෙත් සමස්ථ කාර්යයේ වගකීම සිය උර මතට ගත්තේ ත්‍රිවිධ හමුදාවේ හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සෙබළ සමූහය විසින්. නොහැක්කක් නොමැත, යන්න මේ ඔස්සේ ද සිහළ විරු පුතුන් රටට පමණක් නොව ලොවටම කියූ සංකේතයක් ලෙස සඳහිරුසෑය පිළිබඳව අවිවාදයෙන්ම සඳහන් කළ හැකියි. චෛත්‍ය පාදම සැකසීමේ සිට චූඩා මාණික්‍ය පැළඳවීම දක්වා පූර්ණ චෛත්‍යයක් නිමැවීමේ කාර්යය ඔවුහු මහා පරිශ්‍රමයකින් මෙන්ම පුණ්‍යාභිලාශීව සිදු කළහ. ඒ සඳහා සෑම දිනකම සෙබලුන් 500 ක පමණ පිරිසක් විවිධ අයුරින් ඉදිකිරීම් වල නිරත වූහ.

ඉදිකිරීම් සමාරම්භයේ සිට ඉතිහාසය

 

21 වන සියවසේ ඉදිකළ මේ දාගැබ් වහන්සේ ගේ ඉදිකිරීම් ආරම්භ කළේ 2010 වසරේ නොවැම්බර් 22 වනදායි. ඒ එවක ජනාධිපති වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. එවකට ආරක්ෂක ලේකම්වරයාව කටයුතු කළේ වත්මන් ජනාධිපති අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා යි. චෛත්‍ය බොදු වන්දනය උදෙසා සඟ සතු කොට පූජා කිරීමේ මහා පිංකම 2021/11/18 දින පැවැත්වුණි. ඒ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. එම සුබ මොහොත උදාවන්නේ වසර 11 ක් මුළුල්ලේ කළ කැපකිරීමක් මල්ඵල ගැන්වීමක් ලෙසයි.

වසර 1700 කට පසුව රටතුල ගොඩනැගූ විශාලතම චෛත්‍ය වන්නේ සඳහිරු සෑය යි. සඳහිරු සෑයේ ඉහළ සිට බලන විට පෙනෙන ආකාරයෙන් රුවන්වැලි මහ සෑ රදුන්ට උතුරු දෙසින් පෙනෙන්නේ අභයගිරි චෛත්‍ය වන අතර නැගෙනහිර දෙසින් ජේතවනාරාමය දිස් වේ.
බටහිර දිසාවට ඇත්තේ ‌ඓතිහාසික මිරිසවැටිය චෛත්‍යය යි. දකුණු දෙසින් මෙතෙක් එවන් සුවිශාල චෛත්‍යයක් නොතිබුණේ ය. එම අඩුව සඳහිරු සෑයෙන් සපිරේ.

දාගැබේ විස්තරය


මෙම දාගැබෙහි පාදම නිර්මාණය කිරීමේ දී අඩි 45 ක් පොළොව යට සිට ඉතා ශක්තිමත්ව නිර්මාණය කර තිබේ. එහි මතුපිටට පෙනෙන සමස්ත උස අඩි 281 ක්. විශ්කම්භය අඩි 255 කි. මෙහි කොත් වහන්සේ මත තැන්පත් කෙරුණු චූඩා මාණික්‍යයෙහි උස අඩි 3 යි අඟල් 6 ක් වන අතර එය නිර්මාණය කිරීම සඳහා විවිධ වර්ගයේ මැණික් ගල් 1895 ක් යොදාගෙන තිබේ. මීට අමතරව රත්රන් හා මුතු ද
යොදාගෙන ඇත. චූඩා මාණික්‍යය තැන්පත් කිරීම සඳහා කොත සකසා ඇත්තේ කාලතුවක්කු හමුදාව භාවිත කළ උන්ඩවල පිත්තල කොපු වීම ද විශේෂත්වයක්. බුබුලාකාර හැඩය ගත් මෙහි අලංකාරවත් වාහල්කඩ සතරකි. චෛත්‍යයට පහලින් විසල් විහාර මන්දිරයක් හා කෞතුකාගාරයක් ද ඉදි වේ.චෛත්‍ය වටා කළු ගලෙන් නෙලන ලද කැටයම් සහිත පවුර චෛත්‍ය තව තවත් අලංකාරවත් කරයි.

 

කපිල වස්තු පුරයෙන් වැඩම වූ සර්වඥ ධාතූන් වහන්සේ ඇතුළු නිධන් වස්තු විශාල ප්‍රමාණයක් දාගැබ තුල තැන්පත් කර තිබේ. රන්පත් මත ලියූ ත්‍රිපිටකය, කිලෝ අටක් තරම් බර දඹ රන් පිළිමය, ආදී නිධන් වස්තු ඒ අතර කැපී පෙනේ. හතරැස් කොටුව තුල ද නිධන් වස්තු විශාල ප්‍රමාණයක් තැන්පත් කර තිබේ. 2014 වසරේ පැවති ධාතු නිධානෝත්සවයේ දී සර්වඥ ධාතූන් වහන්සේලා තැන්පත් කෙරුණේ, ඒ සඳහාම තැනූ විශේෂ මණ්ඩපයක් තුලයි. එහි ත්‍රී ශූල නමින් හැදින්වෙන කළු ගලින් නිමවන ලද කණු හතරකින් යුත් පාදමකි. ඒ මත මහා මේරූ ගල නැමති තට්ටු හතකින් යුත් ටොන් 1.2 ක් බර කළු ගලෙහි මුදුනත සර්වඥ ධාතූන් වහන්සේ තැන්පත් කෙරිණි. ඒ උතුම් සර්වඥ ධාතූන් වහන්සේ ආවරණය සඳහා මතුපිටින් ශෛලමය චෛත්‍යයක් ද තැන්පත් කළේ ය. රටෙහි සතර දෙසින් පැමිණි බැතිමතුන් ඉන් අනතුරුව තමන් ගෙන ආ පූජා භාණ්ඩ තැන්පත් කළ අතර ඒ සඳහා ගලින් කරන ලද කුහර 216 ක් තිබේ. චෛත්‍ය මත තැන්පත් කිරීමට පෙර කොත් වහන්සේ හා චූඩා මාණික්‍යය දින 47 ක් පුරා දිවයිනේ විවිධ ප්‍රදේශවල වැඩම කරමින් සුවහසක් බොදු ජනයාට වන්දනා කර ගැනීමේ අවස්ථාව උදාකර දුන්නේ ය. ඒ අතර කාලයේ දිවයිනේ විහාරස්ථාන 25 ක චූඩා මාණික්‍යය තැන්පත් කර තැබුයේ ඒ ඒ ප්‍රදේශවල ජනයාට වන්දනා කර ගැනීමේ පහසුව පිණිස යි.

 අභිමානවත් ඉදිකිරීමකට වැය වූ අමුද්‍රව්‍ය

 

මේ සා විශාල ඉදිකිරීමකට වැය වූ අමුද්‍රව්‍ය කොපමණ ද? ඒ සියල්ල ක්‍රමිකව තනා මනරම් දාගැබක් ලෙස දැන් අපට දිස් වේ. තනන ලද විශේෂ ගඩොල් කෝටි දෙකහමාරක් මීට වැය වී ඇත. මෙම බෞද්ධ සිද්ධස්ථානයේ විශාලත්වය මෙයින්ම වටහා ගත හැකියි. සිමෙන්ති කොට්ට 175000 ක් වැයවිණි. අවශ්‍ය වූ වැලි කියුබ් ගණන 15000 කි. අළු හුණු කිලෝ එක්කෝටි දහසය දහසක් වැය වී තිබේ. මේ චෛත්‍ය සඳහා වැය වූ මූලික අමුද්‍රව්‍ය වල ප්‍රමාණයන් පමණි. ඒ හැරෙන්නට කළුගල් ඇතුළු තවත් අමුද්‍රව්‍ය රාශියක් මේ සඳහා යොදාගෙන ඇත.

මේ මහා ආශ්චර්යමවත් දාගැබ අපි ගෞරවයෙන් වන්දනා කරමු.


පුරා දශකයකටත් අධික කාලයක් මුළුල්ලේ අපමණ වෙහෙස වී නිමකළ මෙම පුණ්‍ය කටයුත්තේ අග ඵල ලබා සියැසින් දකින්නට, වැඳපුදා ගන්නට දැන් අපි සැමට වාසනාව උදා වී තිබේ. රණවිරු දැනුම,ඔවුන්ගේ දෑතේ සවිය,තුලින් මේ සෑය ඉදිවෙද් දී, සඳහිරු සෑ අරමුදල, දෙස් විදෙස් පරිත්‍යාගශීලීන්, සිය දායකත්වය මීට ලබා දුන්හ. ඒ ඔස්සේ 21 වන සියවසේ දී නිර්මාණය වූ දැවැන්තම බෞද්ධ සිද්ධස්ථානය සදහිරු සෑය වීමේ රටට මහත් අභිමානයකි.

විස්තර හා ඡයාරූප අනුග්‍රහය, ෂෙල්ටන් බණ්ඩාරප්‍රවෘත්ති නිලධාරීදිස්ත්‍රික් මාධ්‍ය ඒකකය, අනුරාධපුරය.