*


කැබිතිගොල්ලෑව වන මැද පිහිටි හඳගල පුරාණ රාජ මහා විහාරය.

වන්දනීය,වින්දනීය ජීවන මානයකට සිත් බන්දා,රැගෙන යන නන්දනීය උයන් සිරින් සරු, හඳගල පුරාණ ගල්ලෙන් රාජ මහා විහාරය, බෞද්ධ ඉතිහාසයේ රුව ගුණ කියන තවත් බෞද්ධ සිද්ධස්ථානයකි.අනුරාධපුරයේ සිට කිලෝමීටර් 50ක් පමන ගිය තැන කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ පිටිසර සිරි පිරි ගම්මාන කෙලවර, වන ගොමුවකින් වැසීගිය මනකල් කඳු රැහැන මත්තේ මෙම සිද්ධස්ථානය සඳවා තිබේ.

 

ප්‍රධාන මාර්ගයෙන් හඳගල විහාර මාර්ගයට යත් යත්ම සිත් නිවන දසුන් සමූහයකි.නිල්ල පිරි වෙල් යාය,ඉන් ඔබ්බට කෙලවර නොපෙනෙන ඉරිඟු යාය,තුරු මත සැදි පැල්පත්,මුහුණු පුබුදුවා කර ඔසවන කුරක්කන්,කහ පැහැව සිනාසෙන අබ මල් ආදියෙහි සංකලනයන් සිතට ගෙන එන නිදහස අපමන යි.ගොවිකමේ මහිමයෙන් මතුවන එම දසුන් අතරින් ඈතින් දිස් වන්නේ හඳගල පුරාණ රාජ මහා විහාරය බව කාටත් පහසුවෙන් හදුනා ගත හැක්කේ කඳු මුදුනෙහි වැඩ වසන පිළිම වහන්සේ නිසාමයි. ඒ හැරෙන්නට දුරට පෙනෙන්නේ වනයෙන් වැසුණු උස් බිම් කඩකි.


 

එහෙත් විහාරයට සමීපව පලමු පඩිපෙළ පසු කරත්ම,පුරාණ චෛත්,විහාර මන්දිර මෙන්ම තවත් බොහෝ ඓතිහාසික නටඹුන් මෙම සුන්දර සිද්ධස්ථානය තුල දක්නට හැකියි. ගල් ලෙන් 40 කට ආසන්න සංඛ්‍යාවක් මෙම පූජා භුමිය තුල දකින්නට තිබේ. මෙතුවක් කාලයකට මෙම ජාතික බෞද්ධ උරුමය බොහෝ දෙනාගේ අවධානයෙන් බැහැරව තිබීම අවාසනාවක්.


 

මෙම ඓතිහාසික සිද්ධස්ථානයේ පුරාවත ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය හා සම්බන්ධතා දක්වයි. ඒ නිසාම මෙම පූජනීය ස්ථානය මෙන්ම උතුරුමැද පලාතේ පිහිටා ඇති රාමඤ්ඤ නිකායට අයත් බෞද්ධ වෙහෙර විහාරස්ථාන පුනර්ජීවනය කිරීමේ විශේෂ වැඩපිළිවෙලක් මහා විහාර වංශික රාමඤ්ඤ මහා නිකාය මඟින් ආරම්භකර තිබේ. කැබිතිගොල්ලෑව, හඳගල කන්ද පුරාණ ගල්ලෙන් රාජමහා විහාරය සංවර්ධනය කිරීමේ උතුම් ශාසනික කාර්ය ආරම්භ කර ඇත්තේ ඒ අනුවයි.

 

හෙළ බොදු උරුමය සුරැකීම උදෙසා බුරුම දේශයේ සහයෙන් මෙරට ආරම්භ වූ රාමඤ්ඤ මහා නිකායට දිගු ඉතිහාසයක් පවතී.පොලොන්නරු යුගයේ දී මහා විජයබාහු රජු රාජ්යත්වයට පත්ව දිඹුලාගල මහා කාශ්යප හිමියන්ගේ ප්‍රධානත්වයෙන් රාමඤ්ඤ මහා නිකාය අරඹා තිබේ. එතැනින් සමාරම්භ වූ මේ මහා බොදු බලය කෝට්ටේ යුගය දක්වාම පැවතිනි. සීතාවක සමයෙන් පසුව රාමඤ්ඤ මහා නිකාය නැවත පිහිටුවා උපසම්පදා පුණ්ය කර්ම පවත්වා ඇත්තේ ගම්පොළ ප්රදේශයේදී යි. ඒ සමාරම්භයෙන් පසුව රාමඤ්ඤ මහා නිකායේ ශාසනික සේවාව අනුරාධපුරය දක්වා ද ව්යාප්ත වී තිබේ. එලෙස අනුරාධපුරය තුල ස්ථාපිත වූ ප්රධානතම රාමඤ්ඤ නිකාය පරම්පරාවක් ලෙස හඳගල සඟ පරපුර විරුදාවලී ලබයි.

 

මෙරට බෞද්ධ ශාසනික ඉතිහාසයටත්,බුදුදහම හා බැදුණු සංස්කෘතියටත් ඉමහත් සවියක් දෙන හඳගල කන්ද පුරාණ රාජ මහා විහාරස්ථානය දැකීමෙන්,රාමඤ්ඤ නිකායේ හඳගල සඟ පරපුරේ ශාසනික සේවා ශක්තිය පිළිබඳ අවබෝධයන් රැසක් ද ලබා ගත හැකියි.

 

රාමඤ්ඤ මහා නිකායේ ශාසනික සේවාව කොතක් දැයි දැනගැනීමට මෙන්ම හඳගල පුරාණ විහාරස්ථානය රටට ලෝකයට අපූර්ව බෞද්ධ සිද්ධස්ථානයක් බව පෙන්වා දෙන්නටත් හැකියාව ඇති ප්‍රාරම්භයක් ලෙස මෙම විහාරස්ථානය සංවර්ධනය කිරීමට පියවර ගනිමින් සිටී.


මෙම ස්ථානය පූජා භූමියක් ලෙස ගැසට් පත්‍රයකින් ප්‍රකාශයට පත්කර ඇත්තේ 2013 වසරේ දී ය. එතැන් සිට සුළු වශයෙන් සංවර්ධන කටයුතු සිදුව ඇතත් විහාරස්ථාන සංවර්ධනයට අවශ්ය සාර්ථක ක්රියාකාරීත්වයක් නොතිබූ බව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ උතුරු මැද පළාත් ප්‍රධාන සංඝනායක පූජ්යපාද පොතානේ ධම්මානන්ද හිමියෝ පවසති.

 

මේ අදහස් ද කැටුව පසුගියදා අනුරාධපුර මහ දිසාපති නීතිඥ ආර්.එම්. වන්නිනායක මහතා හඳගල විහාරස්ථානය වෙත පැමිණ කඳු මුදුන දක්වා ඇවිද එම ඓතිහාසික පුරා ස්ථාන පරික්ෂා කළේ ය. ඒ සඳහා පුරා විද්‍යා දෙපාර්තමේන්තුව, වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුළු තවත් නිලධාරි පිරිසක් ද සහභාගී වූහ. හඳගල විහාරස්ථානයේ විහාරාධිකාරී වත්තේගම නිපුන හිමියන් සිය සතුට පළකරමින් කියා සිටියේ මහ දිසාපතිවරයෙකු මෙම විහාරස්ථානය මුදුනට පැමිණි ප්‍රරථම අවස්ථාව මෙය බවයි.


 

ක්ෂේත්‍ර නිරීක්ෂණයෙන් පසුව පැවැති සාකච්ඡාවේදී දිසාපතිතතුමා විසින් ඉදිරියේදී මෙම විහාරස්ථානය සංවර්ධනය කිරීම උදෙසා ගතයුතු මූලික ක්‍රියාමාර්ග පිළිබඳව පැහැදිලි කළේ ය. මෙම පූජා ස්ථානයේ මායිම් සටහන් කිරීමත්, සංරක්ෂණය කළ යුතු පුරා විද්යා ස්ථාන මොනවාදැයි තීරණය කිරීමටත්, අවශ්‍ය කඩිනම් පියවර ගන්නා බවත් දිසාපතිතුමා එහිදී ප්‍රකාශ කර සිටියේ ය.






 

මෙම සුන්දර හා ඓතිහාසික ස්ථානය එතරම් අවධානයකට ලක්ව නොතිබුණත් ශ්‍රී ලංකාවේ පවතින අති සුප්‍රසිද්ධ බෞද්ධ සිද්ධස්ථාන අතරින් මෙයද ඉතා වටිනා ස්ථානයක් බව මහා සංඝරත්නයේ අදහසයි. එමෙන්ම මෙවන් සිද්ධස්ථාන සංවර්ධනය කර සංරක්ෂණය කිරීමෙන් සංචාරක කර්මාන්තයට ද එය ඉමහත් පිටුවහලක් වනු ඇත.


 ෂෙල්ටන් බණ්ඩාර, දිස්ත්‍රික් ප්‍රවෘත්ති නිලධාරී, අනුරාධපුරය