*


සටහන් පෙළ ගැස්ම පිටු අංක 03

අනුරාධපුර වකුගඩු රෝගී සහන සත්කාර මධ්‍යස්ථානය අති ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් විවෘත කෙරේ.


කුමන ගැටළු මතු වුව ද අධ්‍යාපනය , සෞඛ්‍ය වැනි අත්‍යවශ්‍ය මහජන සේවා බිඳවැටෙන්නට ඉඩ නොදී පවත්වා ගැනීම සතුට ට කරුණක් බව අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පැවසී ය. එතුමා මේ අදහස් පළ කළේ , රුපියල්  මිලියන 420 ක වියදමින් අනුරාධපුරයේ ඉදි කළ වකුගඩු රෝගී සහන සත්කාර, සුබ සාධන හා පර්යේෂණ මධ්‍යස්ථානය විවෘත කිරීම සඳහා අද (20) පැවැති උත්සවයට සහභාගි වෙමිනි.


ශ්‍රී ලංකවේ තුනෙන් දෙකක පමණ ප්‍රදේශයක පැතිරී තිබෙන වකුගඩු රෝගය නිවාරණය කිරීම සඳහා අතිගරු ජනාධිපතිතුමා අතින් ආරම්භ කෙරුණු වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කර්ය සාධන බලකාය මගින් රට පුරා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරේ. පිහිටුවා ඇති වකුගඩු ආරක්ෂණ අරමුදලට දෙස් විදෙස් පරිත්‍යාගශීලීන්ගෙන් ලැබී ඇති ආධාර මුදල මිලියන 2000 ස ඉක්මවා තිබේ. ජනාධිපතිතුමා අවධාරණය කළේ , වකුගඩු රෝග නිවාරණය සඳහා වියදම් කරන සෑම මුදලක් ම රජයේ මුදල් නොව පරිත්‍යාගශීලීන්ගේ මුදල් බවයි.මෙම ගොඩනැගීල්ලේ සියලු ඉදිකිරීම් සිදුකලේ , ශ්‍රීලංකා යුධ හමුදාවේ මැදිහත් වීමෙනි. අතිගරු ජනාධිපතිතුමා විසින් යුධ හමුදාවේ මෙම කැප කිරීම් පිළිබඳව ද ප්‍රශංසාත්මකව කතා කළේ ය.


උත්සවයට එක් වූ සෞඛ්‍ය අමාත්‍ය ගරු රාජිත සේනාරත්න මහතා කතා කරමින් කියා සිටියේ ඉදිරියේ දී ජර්මන් ආධාර යටතේ , රුධිර කාන්දුකරණ යන්ත්‍ර 1000 ක් රට පුරා පිහිටි රෝහල් වලට ලබා දීමට සැලසුම් කර තිබෙන බවයි. වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකායේ සක්‍රීය බව හමුවේ පෙර වසර වලට වඩා වකුගඩු රෝගීන් පිළිබඳව වාර්තා වීමේ අඩුවක් පවතින බව ද ගරු අමාත්‍යවරයා සඳහන් කළේ ය.


අලුතින් ඉදිකළ මෙම තෙමහල් ගොඩනැගිල්ල තුල වකුගඩු රෝගීන් 46  කට නේවාසිකව රැදී සිටිමේ හැකියාව තිබේ. රුධිර කාන්දුකරණ රෝගීන්ට මෙන්ම වකුගඩු බද්ධ කරන රෝගීන්ට ද පහසුකම් ඇත. මීට අමතරව  උපදේශන සේවා  සඳහා පහසුකම් , සම්මන්ත්‍රණ ශාලා , සෞඛ්‍ය ප්‍රවර්ධන ඒකක, පුස්තකාල , ආදී පහසුකම් වලින් ද මෙම මධ්‍යස්ථානය සමන්විත වේ.

පදවිය , කැබිතිගොල්ලෑව වැනි දුර බැහැර ප්‍රදේශවල සිට පැමිණෙන වකුගඩු රෝගීන්ගේ පහසුව පිළිඳව සැලකීමේ දී ඔවුන්ට මෙය මහත් අස්වැසිල්ලකි. මීට පෙර රුධිර කාන්දුකරණ රෝගීන් සුරක්ෂිතභාවය උදෙසා බොහෝ විට නවාතැන් ගත්තේ පෞද්ලිකව වියදම් කරමිනි. මෙම නව මධ්‍යස්ථානය නිසා එම ගැටළුව මගහැරේ.


විවෘත කිරීමේ අවස්ථාවට අමාත්‍ය ගරු චන්ද්‍රානී බණ්ඩාර මහත්මිය, අමාත්‍ය ගරු පී.හැරිසන් මහතා,  පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු දුමින්ද දිසානයක මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියේ ය. වැඩසටහන සංවිධානය කිරීමේ දී පලාත් ප්‍රධාන ලේකම් , එච්.එම්.පී .බණ්ඩාර , දිස්ත්‍රික් මහ දිසාපති නීතීඥ ආර්.එම්. වන්නිනායක , පලාත් සෞඛ්‍ය ලේකම් සමන් බන්දුලසේන , පලාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ පාලිත බණ්ඩාර ඇතුළු නිලධාරීන් සහභාගි විය.





ත්‍රිපිටකයේ අගය පිළිබඳව පාසල් දරුවන් දැනුවත් කීරිමට වැඩසටහන් රැසක් අනුරාධපුරයේ..

ත්‍රිපිටකාභිවන්දනා සතියේ තුන්වන දිනය අදයි.  අද දවස වෙන්ව තිබෙන්නේ ,  ත්‍රිපිටකයේ  සද්ධර්මික අගය පිළිබඳව පාසල් දරුවන් දැනුවත් කිරීම උදෙසා ය. ඒ වෙනුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ද සෑම පෙදෙසකම පාහේ වැඩසටහන් සංවිධානය කර තිබිණ. එහි ප්‍රධාන වැඩසටහන අද උදෑසන ආරම්භ කෙරුණේ අනුරාධපුර නැගෙනහිර නුවරගම් පලාතට අයත්  වීරසේකරාරාමයේ දී ය. අවට පාසල් වල සිසු සිසුවියන් විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

චාම් උත්සව සභාවකින් වැඩසටහන ආරම්භ විණි. මුලසුන හෙබවුයේ  පලාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ  පිරිවන් සම්බන්ධීකාරක පූජ්‍ය තම්මැන්නාවේ ධම්මරතන හිමිපාණෝ ය. අනුරාධපුර මහ දිසාපති නීතීඥ ආර්.එම් .වන්නිනායක මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස ඊය එක් විය.  රැස්ව සිටි දරුවන් ඇමතූ මහ දිසාපතිවරයා කියා සිටියේ , බෞද්ධ උරුමයක් වන ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත්වීම මෙලෙස ඉහළින් ඇඟයීම වටිනා කාර්යයක් බවයි.

ත්‍රිපිටකය පිළිබඳව සම්මන්ත්‍රණක් ද මෙහිදී පැවැත්විණ. විනය ,සූත්‍ර හා අභිධර්ම පිටකයේ මුලික විස්තර ඇතුලත් විශේෂ ප්‍රදර්ශනයක් ද සංවිධානය කර තිබීම විශේෂත්වයකි. මීට අමතරව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඵලදායීතා අංශය මගින් විශේෂ ඵලදායීතා කුටියක් ද වීරසේකරරාරාමයේ දී පැවැත්වේ. 












මිහින්තලේ නගර මධ්‍යයේ පිහිටි බුලංකුලම වැව ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ  කෙරේ.




අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් අනුව මිහින්තගේ බුලංකුලම වැව ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු අද උදෑසන ආරම්භ කෙරිණ. වසර කිහිපයක සිට මිහින්තලේ රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණ වැවේ ධම්මරතන නායක හිමිපාණන් විසින් කරන ලද ඉල්ලීමකට අනුව මෙම වැව ප්‍රතිසංස්කරණයට පියවර ගෙන තිබේ. මුල් අදියරේ දී මීට වැය කෙරෙන මුදල රුපියල් මිලියන 19 යකි. ව්‍යෘපෘතියේ කටයුතු සිදුකරන්නේ යුධ හමුදාවේ එකොලොස්වන ඉංජිනේරු කාරක රෙජිමෙන්තුව මගිනි. එළඹෙන පොසොන් සමයට පෙර ප්‍රතිසංස්කරණ කටයුතු නිමා කිරිම අපේක්ෂාවයි.

මිහින්තලේ නගර මධ්‍යයේ පිහිටා ඇති මෙම වැවෙහි ඉතිහාසය ක්‍රී .පු. තුන්වන සියවස දක්වා දිවෙන බව මහා වංශයේ සඳහන් ව ඇතැයි , මිහින්තලේ රජමහා විහාරධිපතීන් වහන්සේ සඳහන් කරයි. අග්බෝ රජ සමයේ දී මිහින්තලා පෙරහැර අරඹා ඇත්තේ ද මෙම බුලංකුලම වැව පාමුලින් බව සඳහන්.



වසරකට දෙස් විදෙස් සංචාරකයින් දස ලක්ෂ ගණනක්  මිහින්තලා පුදබිමට පැමිණේ. එම නිසා සංචාරක ආකර්ශනය වැඩිකිරීම සඳහා නොම ද පිටිවහලක් මෙම වැව ප්‍රතිසංස්කරණයෙන් ඇතිවන ඇතිවේ. උත්සවයේ දී අනුශාසනා කළ මිහින්තලේ රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමිපාණන් සඳහන් කළේ  , අතිගරු ජනාධිපතිතුමන් ගත් මෙම පියවර සම්බුද්ධ ශාසනයට කරන ලද මහඟු උපහාරයක් ලෙස සලකන බවයි.



අතිගරු ජනාධිපති තුමන් ගත් මෙම පූජනීය පියවර සාර්ථක කරගැනීම සඳහා සියල්ලන්ගේ සහය අවශ්‍ය බව මෙම අවස්ථාවට එක් වූ ජනාධිපති අතිරේක ලේකම් චන්ද්‍රරත්න පල්ලේගම මහතා සඳහන් කළේ ය.ඒ මහතා අවධාරණය කළේ , මෙම වැව තැනීමෙන් පසුව ඊට අප ද්‍රව්‍ය බැහැර කිරීමට ඉඩ නොතැබිය යුතු බවයි. සංචාරක ආකර්ශනය සඳහා වැව් බැම්මට විදුලි ආලෝකය ලබාදීමට ද සැලසුම්කර ඇතැයි පල්ලේගම මහතා වැඩිදුරටත් පැවසී ය.



මෙම වැව තැනීමට අතිගරු ජනාධිපතිතුමන් ගත් පියවර සාර්ථක අවසානයක් දක්වා ගෙන යාමට සිය පූර්ණ  කැපවීම ලබාදෙන බව ඒ අවස්ථාවට එක් වූ අනුරාධපුර මහ දිසාපති නීතීඥ ආර්.එම්. වන්නිනායක මහතා සඳහන් කළේ ය. දිසාපතිවරයා වැඩි අවධානයකින් ප්‍රකාශ කළේ , පරිසරයට හානියක් නොවන පරිදි බුලංකුලම වැව සංවර්ධනය කිරීමට කටයුතු කරන බවයි.



චාරිත්‍රානු කූලව රජරටට අවේණික ලෙස කිරී ඉතිරීමේ මංගල්‍යයක් පවත්වා , දෙවියන් බුදුන් සිහිකර වැවෙහි ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කළේ ය. ප්‍රතිසංස්කරණ අවසන් කර මුට්ටි නැමීමේ මංගල්‍යයක් ද පැවැත්වීමට බලාපොරොත්තු වේ.

මෙම අවස්ථාවට මිහින්තලා ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක සරත් ඉලංගසිංහ, මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් , එස් .එම්.ආර්.බි.පී. ඒකනායක , යුධ හමුදාවේ නිලධාරීන් , සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා. 




---------------------------------------------------------------------------------------------------------------------------------------------
සිංහල , දෙමළ , මුස්ලිම් ජනතාවගේ අලුත්ම සංහිඳියා පාලම , පහළ මල්වතු ඔය ජලාශය

රජරට පලාතේ දියවර සංස්කෘතිය අලුත් වෙමින් තිබේ. යාං ඔය ජලාශය ඉදිකර දිය පිරවීම ඔස්සේ රජරට ජලාශ සංස්කෘතියට නව පරිච්ඡේදයක් එක් විය. යාං ඔය දියෙන් පිරී නොබෝ දිනකින්ම තවත් දැවැන්ත ජලාශ ව්‍යාපෘතියක් රජරටින්ම ඇරඹීම සුවිශේෂී වේ. ඒ අනුව  ශ්‍රී ලංකාවේ ඇති වාරිමාර්ග දෙපාර්තමේන්තුවට තුන්වන විශාලතම ජාලාශය වන පහළ මල්වතු ඔය ව්‍යාපෘතිය ඇරඹීම සඳහා සියලු කටයුතු සූදානම් කර තිබේ. මෙම යෝධ ව්‍යාපෘතිය ගැන පුවත් වැඩි කාලයක් නියඟයෙන් පීඩා විඳින උතුරු මැද පලාතේ ජනතාවගේත් , මන්නාරම හා වවුනියාව දිස්ත්‍රික් වල ජනතාවගේත් සිත් සිහිල් කරන සුභාරංචියක් බවට පත්ව ඇත. එළඹෙන සිංහල හා හිංදු අලුත් අවුරුද්දට පෙරාතුව ඉදිකිරීම් ආරම්භ කිරීම උදෙසා ව්‍යාපෘති කාර්යාලය විවෘත කිරීම අද (01) තන්තිරිමලේ දි සිදුකිරීම, පහළ මල්වතු ඔය ජලාශය ඉදිකිරීම පිළිබඳ විශ්වසනීය සමාරම්භය යි. උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක , අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නායක මා හිමිපාණ්සේ හා මෙම ව්‍යාපෘතිය ඇරඹීමට මහා මෙහෙයක නිරත වූ තන්තිරිමලේ විහාරධිපති පුජ්‍ය තන්තිරිමලේ චන්දරතන හිමිපාණන් ඇතුළු මහා සංඝරත්නයේ ආශිර්වාද මැද  ව්‍යාපෘති කාර්යාලය විවෘත කිරීම සිදුවුණේ ,කෘෂිකර්ම , ග්‍රාමීය ආර්ථික , ධිවර හා ජලජ සම්පත් හා වාරිමාර්ග අමාත්‍ය  ගරු පී. හැරිසන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙනි.



ජනතා සහන සඳහා යෝග්‍යතම ජලාශ ව්‍යාපෘතියක් වශයෙන් පහළ මල්වතු ඔය  ජල යෝජනා ක්‍රමය පිළිබඳ පුවත් නිදහස ලැබීමට පෙර කාල වකවානුව දක්වාම දිව යන බව ඇතැමුන්ගේ මතයයි. කෙසේ වෙතත් තන්තිරිමලය ප්‍රදේශයේ  ඉදිරිකිරීමට සැලසුම් කර ඇති මෙම නව ජලාශය සඳහා පූර්ව පර්යේෂණ 1959 -60 කාලයේ දී සෝවියට් දේශයේ ආයතනයක් මගින් සිදුකර ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ දත්ත වාර්තා වලින් හෙලිවේ. ඉන් අනතුරුව බලයට පත් සෑම රජයකින්ම පාහේ මේ සම්බන්ධයෙන් අවධානය යොමුකර ඇත. අවසාන වශයෙන් මෙම සිහිනය මල්ඵල ගන්වමින් 2017 වසරේ අගෝස්තු මාසයේ දී මේ සඳහා මූලික පියවර ගනු ලැබිණි. එතැන් සිට ඇති වූ සාකච්ඡා ගණනාවක ප්‍රතිඵලයක් ලෙස පහළ මල්වතු ඔය දැවැන්ත බහු කාර්ය ජලාශ ව්‍යාපෘතිය යථාර්ථයක් බවට පත් වීමේ පසුබිම සැකසී තිබේ.


උතුරු මැද පලාතේ විශාලතම ජලාශය ලෙස මෙය ඉදිකිරීමෙන් පසුව එහි මුළු ජල ධාරිතාව අක්කර අඩි එක්ලක්ෂ හැට පන්දහස ඉක්මවයි. ජලාශ බැම්මෙහි දිග කිලෝමිටර් 3.6 කි.  ඉන් අක්කර 32000ක වගා වපසරියක් සඳහා දියවර සැපයේ . එම ප්‍රමාණය යල මහ දෙකන්නයේ ම එක සේ වගා කළ හැකිය. මීට අමතරව බහු කාර්ය ජලාශ ව්‍යාපෘතියක් ලෙස මෙයින් ජනතාවට සහන රැසක් ඉටු වේ. අනුරධපුර , වවුනියාව හා මන්නාරම යන දිස්ත්‍රික් ජනතාවට ඇති පානීය ජල ගැටළුව මුළුමනින්ම නිමා වනු ඇත. විදුලි බල උත්පාදනය ද සිදුවේ. මිරිදිය මතස්‍ය කර්මාන්තය හා සංචාරක කර්මාන්තය ද වැඩි දියුණු කිරීම අපේක්ෂාවයි. ඒ අතර තවත් වඩාත් වැදගත් සාධකයක් වන්නේ මෙම ප්‍රදේශයට විශාල තර්ජනයක්ව පවතින ගංවතුර හා නියං තත්ත්ව පාලනය කර ගැනීමට ඇති සාර්ථකම ක්‍රියාමාර්ගය බවට  මෙම ජලාශය ඉදිරීම  හදුනාගෙන තිබීමයි. තද වැසි සමයට අනුරාධපුර හා මන්නාරම  දිස්ත්‍රික්කයන් හි ප්‍රදේශ රැසක් ජලයෙන් යටවේ. මෙම දැවැන්ත ජලාශය ඉදිවීමෙන් පසුව එම තර්ජිත තත්ත්වය මගහරවාගත හැකියි. මීට අමතරව සංචාරක කර්මාන්තයට ද රුකුලක් වන පරිදි තන්තිරිමලේ ප්‍රදේශයේ නව නගරයක් ඉදිකිරීමට ද යෝජනා වී තිබේ. ව්‍යාපෘතිය ඉදිකිරිම හේතුවෙන් ජලයෙන් යටවන අක්කර 14000 ක ප්‍රදේශය සම්බන්ධ සක්‍යතා අධ්‍යයන හා පරිසර අධ්‍යයන අවසන් කර තිබේ. 
.











අනුරාධපුර , වවුනියාව හා මන්නාරම යන දිස්ත්‍රික් තුනක් යා කරමින් සිංහල , දෙමළ හා මුස්ලිම් ජනතාව අතර සුසංයෝගය ඇති කරන සංහිඳියා පාලමක් හැටියට පහළ මල්වතු ඔය ජලාශය නම් කළ හැකි යැයි , ව්‍යාපෘති කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් අමාත්‍ය  ගරු පී . හැරිසන් මැතිතුමා සඳහන් කළේ ය.“ මෙම ජලාශය අනාගතයේ වසර සිය දහස් ගණනකට ඉතිරියක් . පිරිසිදු පානීය ජල ව්‍යාපෘතීන් හරහා වකුගඩු රෝගයට ද පිළියමක් ලැබේවි. මේ ජලාශය ඉදිකිරිමෙන් පසුව කිසිවකුගෙන් ආධාර උපකාර නැතිව ස්ව ශක්තියෙන් නැගී සිටීමේ හැකියාව මේ ප්‍රදේශයේ ජනතාවට ලැබෙන බව ස්ථිරයි, මෙසේ අදහස් දැක් වූ ගරු අමාත්‍යත්‍යතුමා අවධාරණය කර සිටියේ ජලාශය ඉදිකිරීම නිසා ඉඩම් අහිමි වන ජනතාවට සියලු පොදු පහසුකම් හා යටිතල පහසුකම් සහිතව තමන් ජීවත් වූ නිවාස වලට වඩා උසස් මට්ටමේ නිවාස ඉදිකිරීම සඳහා විශේෂ අවධානයක් යොමුකරන බවයි. ජලාශයේ ප්‍රධාන බැම්ම ඉදිකර අවසන් වන විට ජනතාවගේ නිවාස ද සම්පුර්ණ කර පදිංචිය සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරන බව ද ගරු අමාත්‍යතුමා අවධාරණය කළේ ය. ,



විවිධ බාධක මැද වැටි වැටී නැගිටිමින් වසර හතලික් පමණ පැමිණි ගමනේ සාර්ථකත්වයක් ලැබීම පිළිබඳව තමා  ජනතාවගේ සැනසුම් සුසුම් මැද ඉමහත් සතුටට පත්වන බව උත්සව සභාව අමතා කළ අනුශාසනයේ දී තන්තිරිමල රජමහා විහාරාධිපති තන්තිරිමලේ චන්දරතන මා හිමිපාණෝ සඳහන් කළහ. මෙම කටයුත්ත සාර්ථක කරගැනීමේ දී අනුරාධපුර දිසාපති නීතීඥ ආර්.එම් .වන්නිනායක මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිස මහත් ඉවසීමෙන් කළ කැප කිරීම උන්වහන්සේ ගේ ඇගයීමට ලක්විය.



නව ව්‍යාපෘතියක් ආරම්භ කිරීමේ දී එම ප්‍රදේශයේ ජනතාවට විශාල කැප කිරීම් වලට මුහුණ දීමට සිදුවේ. නමුත් මහවැලි ව්‍යාපෘතිය වැනි යෝධ ව්‍යාපෘති වල දී ජනතාවට කරන්නට සිදු වූ කැප කිරීම් තරම් බරපතල කැපකීරීම් දකින්නට නැහැ. ඉඩම් අහිමි වන ජනතාව වෙනත් ස්ථානවල පදිංචි කලත් එය සිදු කෙරෙන්නේ එම ප්‍රදේශය තුලමයි, යනා දී වශයෙන් අනුරාධපුර දිසාපති ආර්.එම්. වන්නිනායක මහතා අදහස් දැක්වී ය. දිස්ත්‍රික් ලේකම් තුමා අවධාරණය කළේ , නව ජලාශය ඉදිකිරීමේ දී  පැන නගින ජනතා ගැටළු පිළිබඳව මනා අවධානයකින් කටයුතු කරමින් කටයුතු කළ යුතුව ඇති බවයි. 


අලුතින් ඉදිකෙරෙන පහළ මල්වතු ඔය ව්‍යාපෘති කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට වාරිමාර්ග අමාත්‍යංශයේ අතිරේක ලේකම් ඩි.බී.ආරියරත්න , වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් මෝහන් රාජා , පහළ මල්වතු ඔය ජලාශයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ටි.පී. අල්විස් , අනුරධපුර අතිරේක දිස්ත්‍රික් ලේකම්  කිර්ති ගමගේ , අතිරේක දිස්ත්‍රික් ලේකම් අනෝමා මනෙල් යන මහත්ම මහත්මීන් මෙන්ම , නව ව්‍යාපෘතියට ඇතුළත් වන අනුරාධපුර ,වවුනියාව හා මන්නාරම දිස්ත්‍රික්කයන් හි ප්‍රාදේශීය ලේකම්වරුන් හා රාජ්‍ය නිළධාරින් ද ගොවි ජනතාවට ද විශාල පිරිසක් සහභාගී විය. 

8