*


පුරාණය

අනුරාධපුර පෞරාණික තොරතුරු

ශ්‍රී ලංකාවේ ප්‍රථම අග නගරය වන අනුරාධපුරය ථෙරවාද බෞද්ධ මධ්‍යස්ථානයක් වශයෙන් සුවිශේෂී ස්ථානයක් හිමිකරගත් නගරයකි. වසර දස දහස් ගණනාවක් ඈතට දිවෙන ඉතිහාසයක් අනුරාධපුරය සතුව පවතී. අනුරාධපුර ඇතුල් නගරය තුළ සිදු කළ කැණීම් මගින් ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට ම ජනාවාසව පැවති බවට සාධක හමු වේ. එම කැණීමෙන් හමු වූ බ්‍රාහ්මී අක්ෂර සහිත වළං කැබලි මගින් ශ්‍රී ලංකාවේ ඓතිහාසික අවධිය ක‍්‍රි. පු 7-8 වන සියවස් දක්වා දිවෙන බව ද අනාවරණය විය
මහාවංසයට අනුව අනුරාධපුරය ප‍්‍රථම වරට ජනාවාස කරගත්තේ ක‍්‍රි. පු 6 සියවසේ ඉන්දියාවෙන් මෙරටට සංක‍්‍රමණය වු ආර්යයන්් වන විජය කුමාරු ඇතළු පිරිසේ සිටි අනුරාධ නම් තැනැත්තෙකු විසිනි. ඔහු මල්වතු ඔයේ ශාඛාවක බටහිර ඉවුරේ අනුරාධ නමින් ග‍්‍රාමිය ජනාවාසයක් ආරම්භ කළේය. මෙම ග‍්‍රාමය පුරයක් බවට පත් වුයේ ක්‍රි පු 4 වන සියවසේ පණුඩකාභය රජු විසිනි. ඉන්පසුව මුටසිව රජු විසින් මහාමේඝවනය ඉදිකොට නගරය අලංකාර කළ අතර අනුරාධපුරයේ ඉදිකළ වාස්තු විද්‍යාත්මක නිර්මාණවල ජිවමාන සාධක දක්නට ලැබෙන්නේ දේවානම්පියතිස්ස රාජ්‍ය කාලයේ සිටය. අනතුරුව දුටුගැමුණු, වලගම්බා, වසභ, මහසෙන් ධාතුසේන ඇතුළු රාජ්‍ය පාලකයන් අතින් අනුරාධපුර නගයේ වර්ධනය සහ ව්‍යාප්තිය සිදු විය. මෙලෙස උච්ඡාවචනය වෙමින් පැවැති අනුරාධ නගරයේ වර්ධනය ක‍්‍රි.ව 9 වන සියවසේ දී ඇති වු පාණ්ඩ්‍ය ආක‍්‍රමණයත් 10 වන සියවසේ ඇති වු චෝල ආක‍්‍රමණයත් හමුවේ ප‍්‍රබල පසුබැස්මකට ලක් විය.
අනුරාධපුර පැරණි නගරය මල්වතු ඔයේ ශාඛාවක බටහිර ඉවුරේ පිහිටා ඇත. බටහිරින් බුලන්කුලම වැවෙන් ද නිරිත දිගින් බසවක්කුලම (අභය) වැවෙන් ද දකුණින් තිසා වැවෙන් ද නැගෙනහිරින් නුවර වැවෙන් ද (ජය වැව) සීමා වී ඇත. අනුරාධපුර පැරණි නගරයේ නටබුන් ව්‍යාප්ත වී අති ආකාරය අනුව නගර සැලසුම ඇතුල් නගරය හා පිටත නගරය වශයෙන් ප‍්‍රධාන කොටස් දෙකකට බෙදේ. ඇතුල් නගරය තුල රාජකීය ගොඩනැගිලිත් පිටත නගරය තුළ ආගමික ගොඩනැගිලිත් ස්ථානගත වී පවතී පිටත නගරය තුල විහාරාරාම ස්ථාන ගත වී ඇති ආකාරය අනුව ප්‍රධාන ආරාම සංකීර්ණ 03 ක් (මහා විහාරය, ජේතවනය, අභයගිරිය) ද ප්‍රත්‍යන්ත ආරාම කිහිපයක් ද පවතින අතර ඊට අමතරව රාජකීය උද්‍යාන සංකීර්ණයක් ද දැකිය හැකිය.
*****************************************
ශ්‍රී මහා බෝධීන් වහන්සේ Jaya Sri Maha Bodhiya of Anuradhapura
ශ්‍රී මහා බෝධිය ශ්‍රී ලංකාවේ අනුරාධපුරයේ පිහිටි පූජනීය ඇසතු වෘක්‍ෂයකි. බුදුන් වහන්සේ බුද්ධත්වය ලබා ගැනීමේදී පිට දුන් ඓතිහාසික බෝධි වෘක්ෂයේ දකුණු අංකුර පැලයකි. මෙය පැල කරන ලද්දේ කි.පූ 288 දීය. එය මේ දක්වා ලෝකයේ තිබෙන මිනිස් අතකින් සිටවූ සහ එසේ සිට‍වූ කාලය දන්නා පැරණිම වෘක්ෂය ලෙස වාර්තාගත වෙයි.

මෙම ශ්‍රී මහා බෝධිය බුදුන් වහන්සේ බුද්ධත්වයට පැමිණිමේදී පිට දුන් ඉන්දියාවේ බුද්ධගයාවේ තිබූ මහ බෝධියේ දකුණු ශාඛාවකි. ක්‍රි.පූ. 3 වැනි සියවසෙහි මෙම බෝධිය ලක්දිව යාපා පටුනෙහි මාදගල් හි සංඝමිත්තා තොටුපල ලෙස දැනට හදුන්වන තොටුපලට ගෙන එන ලද්දේ අශෝක අධිරාජයාගේ දියණිය වන සංඝමිත්තා මෙහෙණිය විසිනි. ඇය ශ්‍රී ලංකා භික්ෂූණී ශාසනය පිහිටුවීමේ ලා පුරෝගාමී වූවාය. කි.පූ 249 දේවානම්පියතිස්ස රජතුමා විසින් අනුරාධපුර මහ මෙව්නා උයනෙහි මෙම ජය සිරි මහ බෝධිය සිටුවන ලදී.
ශ්‍රී මහා බෝධිය සිටුවා ඇත්තේ සාමාන්‍යය පොළව මට්ටමේ සිට මීටර් 6.5 ක් (අඩි 21.3) පමණ උස් වූ වේදිකාවක් වැනි බිමකය. ඒ වටා වැටක් තිබේ. එය අද කාලයේ ශ්‍රී ලංකාවේ මෙන්ම ලෝකය පුරා බෞද්ධයන්ගේ වන්දනාමානයට පාත්‍රවන පූජනීය වස්තුවකි. මෙම ප්‍රාකාරය (වර්තමානයේ දක්නට ලැබෙන) ගොඩනංවන ලද්දේ කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ යුගයේදීය. එසේ කරන ලද්දේ වල් අලින්ගෙන් ආරක්ෂාවීම පිණිසය.

දිවයින තුළ බෞද්ධයින් අනාදිමත් කාලයක සිට අති පූජනීය බෝධි වෘක්ෂය වැඳ පුදා ගැනීමට දුර බැහැර සිට පැමිණෙති. බෞද්ධයින් ජය ශ්‍රි මහා බෝධීන් වහන්සේ වෙත පුද පූජා පැවැත්වීමෙන් ඔවුන්ගේ ජීවිතයේ සැලකිය යුතු හා ධනාත්මක වෙනස්කම් ඇතිවන බවත් ආශිර්වාද ලැබෙන බවත් විශ්වාස කරති. බොහෝ බෞද්ධයන් රෝග සුවය, දරු පළ, විභාග ජය, රැකියා ආදි විවිධ අරමුණු සාර්ථක වන ලෙස ප්‍රාර්ථනා කරමින් ජය ශ්‍රි මහා බෝධීන් වහන්සේට ඉදිරියේ දී විශේෂ පූජාවක් කිරීමට භාර හාර වෙති. එසේම වසරේ සිය පළමු වී අස්වැන්න ශ්‍රි මහා බෝධි වෘක්ෂයට පූජා කිරීම අනුරාධපුර ගොවීන් අතර දීර්ඝ කාලයක් තිස්සේ පැවත එන සම්ප්‍රදායකි. එම උත්සවය "අලුත් සහල් මංගලය" නම් වේ. එම පූජාව අලින්ගෙන් හා වන සතුන්ගෙන් වගාවට සිදුවන හානි, පළිබෝධ හානි හා නියඟය ආදී උවදුරු අඩුවී තිරසාර වී නිෂ්පාදනයක් ලැබීමට හේතු බව ඔවුන් දැඩිව විශ්වාස කරති.

 
*****************************************
රුවන්මැලිසෑය, අභයගිරිය හා ජේතවනරාමය (Ruwanweli Maha Seya, Abayagiriya Stupa & Jethawanaramaya Stupa) ඇතුළු දාගැබ් සමුහය

අනුරාධපුර රජ දවස විසල් විහාර මන්දිර සංකීර්ණ සහ විසල් දාගැබ් ගොඩ නගා තිබුණි. අදටත් ජේතවනාරාමය දාගැබ ලොව උසම ගඩොලින් තැනූ ගොඩනැගිල්ල වේ. දේවානම්පියතිස්ස රාජ සමයේ ලක්දිවට බුදු දහම පැමිණීමත් සමග කලා ශිල්ප පිළිබඳ මහත් උද්යෝගයක් ඇතිවිය. අනුරාධපුරයේ ගොඩනැගූ මුල්ම චෛත්‍යය වන්නේ ථූපාරාමයයි. එතැන් පටන් වෙහෙර විහාර විශාල ප‍්‍රමාණයක් වරින් වර රජ පැමිණි නර පතීන් විසින් අනුරාධපුරයේ ඉදිකර තිබේ. දුටුගැමුණු රජු කි‍්‍රස්තු පූර්ව 161 ත් 137 ත් අතර ඉදිකළ මිරිසවැටිය හා රුවන්මැලි සෑය සුවිසල් දාගැබ් ඉදිකිරිමේ මූලාරම්භයයි. පසු කළෙක වළගම්භා රජු අභයගිරියත් මහසෙන් රජු ජේතවනාරමයත් ඉදිකළහ. තිබේ. ශී‍්‍ර ලංකාවේ විශාලතම චෛත්‍ය තුන රුවන්මැලිසෑය, අභයගිරිය හා ජේතවනරාමයයි. මෙම චෛත්‍ය තුන අටමස්ථානයන්ට අයත් වේ.

මීට අමතරව ශී‍්‍ර මහා බෝධිය, ලෝවාමහාපාය, ථූපාරාමය, ලංකාරාමය සහ මිරිසවැටිය අටමස්ථාන ලෙස සළකණු ලැබේ. පොසොන් සමයෙහි අනුරාධපුර පැමිනෙණ බැතිමතුන්ගේ අරමුණ වන්නේ පළමුව මෙම අටමස්ථානයට අයත් ස්ථාන වැඳ පුදා ගැනීමයි. 
*****************************************
බුදු රජාණන් වහන්සේ ධ්‍යාන මුද්‍රාවෙන් වැඩ සිටින සමාධි බුදු පිළිම වහන්සේ (Samadhi Buddha Statue at Anuradhapura)
ශ්‍රී ලංකාවේ අනුරාධපුර මහමෙව්නා උයනේ පිහිටා තිබේ. මෙම පිළිම වහන්සේ බුදු රජාණන් වහන්සේ ධ්‍යාන මුද්‍රාවෙන් වැඩ සිටිමින් භාවනාවේ යෙදෙන අයුරු දක්වයි. මෙම භාවනා කිරීමේ ඉරියව්වේදී එරමිණියා ගොතා ගෙන අත්ල උඩු අතට හරවා එකක් මත එකක් සිටින සේ උකුල මත දෑත් තබා බුදුන් වහන්සේ වැඩ හිඳින සේක. මෙම ඉරියව්ව පිළිබඳ මුළු මහත් බෞද්ධ ලෝකයම දැනුවත් වන අතර එනිසාම බුදු පිළිම නිර්මාණය කිරීමේදී බහුලව යොදාගනු ලැබේ. අනුරාධපුර සමාධි පිළිම වහන්සේ අඩි 7'3" ක උසින් යුක්ත වන අතර තනි ග්‍රැනයිට් (හුණුගල්) පාෂාණයෙන් නිමවා ඇත.
සමාධි බුදු පිළිම වහන්සේ 3 වන හෝ 4 වන සියවසේ අභයගිරි සමයට අයත් ලෙස සැලකෙන අතර එය කිනම් රජ කෙනෙකුගේ කාලයේදී නිර්මාණය කරන ලද්දේ දැයි නිශ්චිතව නොදනී. නමුත් මෙම පිළිමය එකල උතුරු, දකුණු, නැගෙනහිර හා බටහිර යන සිව් දිශාවන්ට මුහුණ ලා පිහිටවූ එකිනෙකට සමාන පිළිම වහන්සේලා 4 නමකගෙන් එකක් ලෙස පිළිගත් මතයක් පවතී. මෙම පිළිමය දැනට පිහිටි ස්ථානයේදීම 1888 දී හමු වූ අතර ඒ වන විට පිළිමයේ නාසයට හානි සිදුවී තිබුණි. පිළිමය ආවරණය කරමින් තිබෙන උඩු වියන 1950/60 කාල සීමාවේදී පිහිටනු ලැබීය.පුරාවිද්‍යාඥ ආනන්ද කුමාරස්වාමි මහතා මෙම සමාධි බුදු පිළිමය නිසැකවම ශ්‍රී ලංකාවේ මූර්ති ශිල්පීන්ගේ නිර්මාණයක් බවත් ඉන්දියාවෙන් අතික්‍රාන්තය නොවූවක් ලෙසත් අවධාරණය කර ඇත.සමාධි බුද්ධ ප්‍රතිමාව බාහිර ලෝකය සමඟ බැඳිමක් හෝ විදැහීමක් නොමැතිව භාවනානුගෝගීව සිටින බුදු රජාණන් වහන්සේගේ මනසේ සන්සුන් බව නිරූපණය කරනු ලැබේ.



*****************************************
සියළු කලාකාමී හදවත් අමන්දානන්දයට පත් කළ හැකි ශයිලමය නිර්මාන පෙළක් ලෙස සකසා ඇති සඳකඩපහණ, ඉසුරුමුණය,  කුට්ටම් පොකුණ හා මුරගල ආදී ස්ථාන සෞන්දර්යාත්මක වුත් අනුරාධපුර රාජධානියේ අතීත උරුමයන්ය.
*****************************************
අනුරාධපුර රාජධානියේ උන්නතියට දිරි දුන් ප්‍රබලතම සාධකය ලෙස ප්‍රදේශය පුරා විහිදීගිය අතිවිශාල වාරි පද්ධතිය හැදින්විය හැකිය.ඒ සදහා යොදායනු ලැබූ විශිෂ්ට තාක්ෂණික ශිල්ප ක්‍රම හේතුවෙන් මෙම යුගයේ වාරිකර්මාන්තය විදෙස් රටවල් පවා මවිතයට පත් කොට ඇත. 
විජයගෙන් ඇරඹි අනුරාධපුර රාජධානිය ක්‍රමයෙන් වර්ධනය වත්ම එහි විසූ සියලුම වැසියන් පාහේ කෘෂිකාර්මික දිවි පෙවෙතකට අනුව හැඩගැසීම හේතුවෙන්ඔවුන්ගේ කෘෂිකාර්මික කටයුතු වලට අවශ්‍ය ජලය නිසි කළට වේලාවට ලබාදීමේ අවශ්‍යතාවය මත ක්‍රමවත් ලෙස සැකසූ වාරි පද්ධතියක අවශ්‍යතාවය මතුවිය.එම අභියෝගය ජය ගැනීම අරමුණ කොට ගනිමින් අනුරාධපුරයේ බලයට පත්වූ සෑම රජෙකුම පාහේ වාරිකර්මාන්ත කටයුතු සඳහා කැපවී ක්‍රියා කළ බව පෙනෙයි.

මහාවංසයට අනුව පණුඩුකාභය රජු ක්‍රි.පූ.437 දී ප්‍රථම වරට අනුරාධපුර රාජධානිය පිහිටුවා ගත් අතර වසර 70ක් පමණ අනුරාධපුරය අගනුවර කොට ගනිමින් ලක්දිව පාලනය කළහ. මොහු අනුරාධපරයේ වාරිකර්මාන්තයේ ආරම්භක රජු ලෙස සලකන අතර මොහු විසින් අභය වැව, ජය වැව හා ගාමිණී වැව කළ බව මහාවංසයේ දැක්වේ.
දෙවනපෑතිස් රජුගේ රාජ්‍ය කාලය ක්‍රි.පු.307-267 දක්වා වන අතර බුදු දහම ලක්දිවට ගෙන එනු ලැබුවේ මෙම රජුගේ පාලන සමය තුළදීය. මොහු ඉතා ප්‍රසිද්ධව ඇත්තේ වෙහෙර විහාර ඉදිකිරීම සම්බන්ධයෙන් වන අතර අනුරාධපුරයේ ඉසුරැමුණියට නුදුරින් පිහිටි සප්‍රසිද්ධ තිසා වැව මෙම රජුගේ නිර්මානයක් ලෙස සැලකේ.

වසභ රජුගේ යුගයේ ඉදිවූ වැව් පෙරට වඩා තරමක විශාල ඒවා විය. වැඩිවන ජනගහනයට සරිලන ස්වයංපෝෂිත ආර්ථිකයක් උදෙසාම ඒවා නිර්මාණය කළ බව පෙනෙයි. මෙම රජුගේ රාජ්‍ය කාලය ක්‍රි.ව.66-110 දක්වා වන අතර මහා වැව් තැනීමේ ආරම්භක රජු ලෙස සලනනුයේ මොහුය. මොහු විසින් මහවිලච්චිය වැව, මානන්කැටිය වැව, කලිය වැව, නොච්ච්යාගම වැව, කොලොම්ගල වැව, අක්වඩුන්න වැව, මහාපත්පහත් වැව, නොච්චිපොතාන වැව, රතුපුල වැව, කොහාල වැව, මහරන්මෙන්ති වැව හා මානන්කැටිය වැව කරවු බව ආදිය හදුනාගෙන ඇත. මොහු විසින් වැව් වලට අමතරව ඇළ මාර්ග කල බවද මූලාශ්‍රයන්හි දැක්වේ. අනුරාධපුරයේ රන්මසු උයනේ පොකුනු වලට තිසා වැවෙන් ජලය ගෙනයනු ලැබූ එබඳු උමංජල මාර්ග සොයායෙන තිබීම මීට නිදසුන්ය.
වසභ රජුගෙන් පසු වාරිකර්මාන්තයේ වැදගත් අවදියක් ලෙස මහසෙන් රජ සමය හැදින්විය හැකිය.මොහුගේ රාජ්‍ය කාලය වසර 27ක් වු අතර මෙකළ පැවති සාමකාමී දේශපාලන වාතාවරණය ඒ සඳහා මනා පිටුවහලක් වන්නට ඇත.මොහු විසින් කරවන ලද වැව් අතර මින්නේරිය වැව, කණදරා වැව, කවුඩුල්ල වැව, මහගල්කඩවල වැව, හුලුගල්ල වැව, හිරාමුල්ල වැව, හුරුළු වැව, මාමිණියා වැව, මාගල් වැව, කළවාණ වැව, මෙරවාපිය වැව, පබ්බතන්ත ඇළ ප්‍රධාන වේ.
ක්‍රි.ව.459-471 කාලය තුළ මෙම රජු අනුරාධපුරය අගනුවර කරගත්හ. මෙම රජුගේ විශිෂ්ටතම නිර්මානය ලෙස සලකනු ලබන්නේ කලා වැව ඉදිකිරීමය. කලා වැවේ සිට තිසා වැව දක්වා ජලය ගෙන යන ජය ගඟ හෙවත් යෝධ ඇළ ආරම්භ කළේද මෙම රජු බවට පිළිගැනේ. මෙලෙස ජය ගඟ ඔස්සේ තිසා වැවට අතිරේක ජලය ලබා දෙමින් තිසා වැවේ ජල ධාරිතාව වැඩිකොට,අස්වද්දනු ලැබූ කෘෂිකාර්මික කටයුතු වලට අවශ්‍ය ජල සැපයුම නිසි පරිදි ඉටු කරනු ලැබීය. මෙම රජු කරවු වැව් අතර මාදතුගම වැව, යෝධ වැව, මාඑළිය වැව, පානන්කාමකුලම වැව හා මැද්දකැටිය වැව තිබෙන බව හඳුනා ගෙන ඇත.

( අන්තර්ජාලයේ පළ වී තිබු ලිපි ඇසුරින් මෙම ලිපිය සකසා ඇත. )
***********************************************