*


හැත්තෑ එක්වන නිදහස් දින අනුරාධපුර දිස්ත්‍රික් සැමරුම් උත්සවය


හැත්තෑ එක්වන ජාතික නිදහස් දිනයට සමගාමී අනුරාධපුර දිස්ත්‍රික් සැමරුම් උත්සවය අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු චන්දිම ගමගේ මහතා ගේ හා අනුරාධපුර මහ දිසාපති නීතීඥ ආර්. එම් . වන්නිනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. භේරි නාද මධ්‍යයේ පැමිණි ආරාධිත අමුත්තන් ගෞරවාන්විතව පිළිගැණිනි. ජාතික ධජය එසවීමෙන් හා ජාතික ගීය ගායනයෙන් අනතුරුව රණවිරුවන් ඇතුළුව දේශය වෙනුවන් දිවි කැප කල සියළු දෙනා සැමරීම සඳහා විනාඩි 02 ක නිශ්ශබ්ධතාවයක් ආරක්ෂා කිරීම සිදුවිය. ඉන් පසු ත්‍රිවිධ හමුදාවේ, පොලීසියේ, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ හා පාසල් දරුවන්ගේ ආචාර පෙළපාලිය ආරම්භ කරන ලදි. ප්‍රධාන පීඨිකාවක සිට ආරාධිත අමුත්තන් ආචාර පෙළපාලිය පිළිගනු ලැබීය.















සර්ව ආගමික වතාවත් පැවැත්වීමෙන් අනතුරුව උත්සවයේ පිළිගැනීමේ කතාව අනුරාධපුර මහ දිසාපති නීතීඥ ආර්.එම්.වන්නිනායක මහතා විසින් සිදු කල අතර, අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලය , විවේකානන්ද දෙමළ විද්‍යාලය හා සහිරා විද්‍යාලය නියෝජනය කරමින් සහභාගි වු ශිෂ්‍යාවන් විසින් සිංහල, දෙමළ හා ඉංග්‍රීසි  මාධ්‍යයෙන් පැවැත් වු නිදහස තේමාකර ගත් කථා උත්සවය සඳහා සහභාගී වු සැමගේ පැසසුමට ලක් විය.  








ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ පාර්ලිමේන්තු මන්ත්‍රී  ගරු චන්දිම ගමගේ මහතා කතා කලේ ඉන් අනතුරුවයි. විදේශිකයින් ගෙන් බේරාගත් රට සංවර්ධනාත්මකව ඉදිරියට ගෙනයාමට අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීමට පූර්ණ සහාය සියල්ලන්ගෙන් ම ලැබිය යුතු බව සිහිපත් කළ එතුමා , මෙම උත්සවය සාර්ථකව සංවිධානය කිරීම පිළිබඳව උතුරුමැද පලාත් ලේකම් තුමාට හා අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්වතුමාටත්, එම කාර්යාලයන් හි මේ සඳහා සහාය ලබා දුන්  නිධාරීන්ටත් ස්තුතිය පළකලේ ය. ඉන් අනතුරුව උත්සවය සඳහා සහභාගි වු පාසැල් දරු දැරියන් සඳහා ත්‍යාග පිරිනැමීම සිදුවිය.






කේ.බී.රත්නායක විද්‍යාලයේ හා ශාන්ත ජෝශප් විද්‍යලයේ දරු දැරියන් විසින් ඉදිරිපත් කල විශේෂ සංදර්ශනවලින් අනතුරුව ජාතික ගීය දෙමළ බසින් ගායනා කිරීම සිදුවිය. ගාම්භිරවත් රටක නිදහසේ අභිමානය රැක ගැනීමේ අපෙක්ෂාව පෙරදැරි කරගෙන පැවති හැත්තෑ එක්වන නිදහස් දින අනුරාධපුර දිස්ත්‍රික් සැමරුම් උත්සවය එතකින් නිමාවට පත්විය.