*


අනුරාධපුර පරිසර සමුළුව - 2019/02/14



පරිසර අමාත්‍යවරයා ලෙස අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පරිසරය සුරැකීමේ වැදගත්කම අවධාරණය කරමින් අනුරාධපුර පරිසර සමුළුවේ දී  කළ කතාවෙන් උපුටාගත් පාඨයකි , ඉහත දැක්වෙන්නේ. රටෙහි බාල, වැඩිහිටි , මහළු සියලු දෙනා එක සේ පරිසරය පිළිබඳව අවධානය යොමුකළ යුතු බව වටහා ගැනීමට එම ප්‍රකාශයන් මනා වටිනාකමක් ගෙන දෙයි. සමුළුවේ ආරම්භය උත්කර්ෂවත් අයුරින් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සම්ප්‍රාප්තියත් සමග සිදුවිය.


පරිසරය රැකීමේ වැදගත් කම පිළිබඳවත්, එයින් මානවයාට ඇති සෙත ගැනත් වසර දහස් ගණනකට පෙර සිට විවිධ ප්‍රාඥයින් විසින් අවධාරණය කර තිබේ. ඒවා පොත පත් හි  ද සඳහන් ය. එහෙත් පාරිසරික ගැටලු උග්‍ර වී ඇත. එය පසුගිය දශක කිහිපයේ දී ශීඝ්‍රයෙන් වර්ධනය වී ඇත. ශෝකී , හැඟුම්බර කාරණය වන්නේ , පරිසරය නැසීමට පෙරමුණ ගෙන සිටින්නේ , පෘථිවියේ බුද්ධිමත් ම සත්ත්ව කොට්ඨාසය වන මනුසතා වීමයි.
විවිධ පරිසර ගැටළු හමුවේ පීඩා විඳිමින් සිටිද්දීත් පරිසරය ගැන නොතකන්නේ මනුසතා බුද්ධිමත් නිසා ද? නිදහසට පෙර ශ්‍රී ලංකාවේ පැවැති වන වැස්ම සියයට හැට හයකි . අද එය සියයට විසි අට දක්වා අඩු වී තිබෙන බව අතිගරු ජනාධිපති තුමා කියා සිටී. එම සංඛ්‍යාලේඛන අනුව නිදහසින් පසුව අපට අහිමි වූ වනාන්තර වල ප්‍රතිශතය සියයට තිස් අටකි. එමෙන්ම එය වසරක් පාසා තව තවත් ඉතා වේගයෙන් විනාශ වෙමින් තිබේ. ජර්මන් වොච් නම් පරිසර සංවිධානය 2018 වසරේ ඉදිරිපත් කළ වාර්තාවට අනුව දේශගුණ විපර්යාස සිදුවන අවධානම් රටවල් අතර ශ්‍රී ලංකාව දෙවන තැනට පත්ව ඇත.
















දේශගුණ විපර්යාස සිදුවන අවධානම් රටවල් අතර ශ්‍රී ලංකාව දෙවන තැනට පත්ව ඇති පසුබිමක් හමුවේ, කිසිවකුටත් පරිසරය රැකීමේ වගකීමෙන් බැහැර විය නොහැකියි. රජයක් හැටියට දිස්ත්‍රික් පුරා පරිසර සමුළු පවත්වමින් ජනතාව දැනුවත් කිරීමේ හා ඒ හරහා පරිසර සංරක්ෂණයට ජනතාව සක්‍රීයව එක්කර ගැනීමේ මෙහෙයුම අද සමාජයේ වේගයෙන් ක්‍රියාත්මක කරන්නේ ඒ නිසාය. අනුරාධපුරයේ දී අද (14) පැවැති පරිසර සමුළුවේ දී  අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා  මෙසේ ද පැවසීය.

ශ්‍රී ලංකාවේ මේ වන විට වනගහණය සියයට විසි අටක මට්ටමේ පවතිනවා. නමුත් එය සියයට තිස් දෙක දක්වා ඉහළ නැන්වීම අවශ්‍යයි. අපේ වනගහණය එක් වර්ෂයක දී සියයට එකයි දශම පහකින් අඩුවෙනවා. කැලෑ කැපීම නිසාත් , වෙනත් ක්‍රියාකරකම් නිසාත් ඒ තත්ත්වය පවතිනවා. මේ විදියට ගියොත් අවුරුදු කිහිපයක් යන විට රටේ වනාන්තර ශීඝ්‍රයෙන් අඩුවෙලා රට කාන්තාරකයක් වෙන එක අපි ජීවත්ව සිටින කාලයේ ම සිදු වේවි.  . මෙම තත්ත්වය තුරන් කිරීම සඳහා රටේ සියළු පාර්ශව එකතුවිය යුතුයි. මේක ජනාධිපතිට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. රජයකට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේක හැමෝටම පැවරෙන වගකීමක් මෙම ප්‍රකාශයන් තුලින් පැහැදිලි වන්නේ දේශගුණික හා කාලගුණික විපර්යාස වලට මුහුණ පෑමට සිදුව ඇත්තේ , පරිසරය පිළිබඳව සියලු දෙනා ගේ අවධානය නිසි ලෙස යොමු නොවීම නිසා බවයි.

“ සොබා දම කිපුණු දා සත් වගම නසන්නේ ...,, යන යෙදුමෙහි ඇති අර්ථය සැමට වැටහිය යුතුය. සැබැවින්ම දැන් සොබා දම කිපීමට පටන් ගෙන තිබේ. පසුගිය අවුරුදු තුන තුල ශ්‍රීලංකාවේ සමස්ත ප්‍රදේශවලින් තුනෙන් දෙකක පමණ ප්‍රදේශයක් දැඩි නියඟයකට මුහුණ දුන්නේ ය. පෙර රජ දවස මනාව තිබූ මෙම පරිසරය , දේශගුණය අද සමාජය වන වට විනාශ වුණේ ඇයි? කවුරුත් ජීවත් වන්නේ පරිසරයේ සහයෙන් බව නොවැටහීම මීට ප්‍රධාන හේතුව වේ. ලෝකයේ පලමු අභය භූමියේ හිමිකම ඇත්තේ ද ශ්‍රී ලංකාවට ය. සුන්දර දිවයිනක් ලෙස ද ලෝකයේ නම් දරා තිබේ. එහෙත් මෙම පරිසර විනාශයන් ගේ ශිඝ්‍රතාව සමඟ සැසදීමේ දී එම සුන්දරතා එතරම් කලක් පවතී යැයි කීම පුහු අදහසකි. මෙම පරිසර සමුළුව පැවැත් වූ අනුරාධපුරයේ ද හඳුනාගෙන ඇති පරිසර ගැටළු සමුහයකි. වන සත්ව හානිය , රක්ෂිත විනාශය , අවිධිමත කැනීම් ජවාරම් , අවිධිමත් කසල බැහැර කිරීම් ආදිය ඔස්සේ ශ්‍රී ලංකාවේ ප්‍රථම රාජධානිය ලෙස විරුදාවලී ලබන අනුරාධපුරයේ පරිසර පද්ධතිය මහා අර්බුදයකට මුහණ දී තිබේ.

පරිසරය සුරක්ෂිත කිරීම සඳහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කළත් , ඒ සඳහා විවිධ ආයතන පැවතියත්, අදාල වැඩසටහන් පිළිබඳව පසු විපරම් කිරීම් නොමැතිවීම බරපතල ගැටළුවක් බව ජනාධිපතිතුමා අවධාරණය කරයි. එම නිසා ග්‍රාමීය මට්ටමින් සිදුවන පරිසර හානි වැලැක්වීම උදෙසා පරිසර පොලීසිය මෙන්ම ග්‍රාම නිලධාරීන් වැනි පිරිස්  උනන්දුවෙන් කටයුතු කළ යුතුය. එමෙන්ම පරිසර හිතැති ජනතාව  , පරිසරය විනාශ කරන්නන් පිළිබඳ තොරතුරු ලබාදීමේ වැදගත් කම ද අනුරාධපුර පරිසර සමුළුවේ දී අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා  විසින් පෙන්වා දෙන ලදි. පපුව , ඔළුව නරක් නොවූ පිරිසිදුම පිරිස හැටියට හඳුනා ගන්නා පාසල් දරුවන් යනු පරිසරය සුරක්ෂිත කිරීමේ පණිවිඩය සමාජයට සාර්ථකව ලබාදිය හැකි හොඳම පිරිස බවට පත්වන බව ද අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පැවැසී ය.

අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා පරිසර අමාත්‍යංශය ඒකාබද්ධව සංවිධානය කළ අනුරාධපුර දිස්ත්‍රික් පරිසර සමුළුවට ග්‍රමීය ජනතා , ගොවි නියෝජිතයින් , රාජ්‍ය නිළධාරීන් , පරිසර සංවිධාන නියෝජිතයින් , දේශපාලන අධිකාරිය, පොලීසිය ඇතුළු ආරක්ෂක අංශයේ නිලධාරින් මෙන්ම පාසල් දරුවන් ද ඇතුලු පන්දහකට අධීක පිරිසක් එක් විය. මේ සියලු දෙනා එක්ව ප්‍රතිඥ දුන්නේ පරිසරය සුරක්ෂිත කිරීමට දිවි හිමියෙන් කැපවන බවටයි. සමුළුව අතරවාරයේ දී අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් නීතීඥ ආර්.එම්. වන්නිනායක මහතා විසින් දිස්ත්‍රික්කයේ පරිසර ගැටළු ඇතුලත් තොරතුරු ගොනුවක් ද අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්වී ය. පරිසර සුරක්ෂාව තේමා කරගනිමින් අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ විහංගා පාරමී ශිෂ්‍යාව කළ කතාව අතිශය හැඟුම්බර එකකි. පරිසරය තේමා කරගත් නර්තනාංග වලින් ද සමුළුව අලංකාරවත් විණ. සංකේතාත්මක ලෙස රුක් රෝපණයක් ද අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ගේ මුලිකත්වයෙන් සිදුකෙරිණ.

මෙය තවත් එක් උත්සවයක් නොවන බවට ඉඟි එහි ගැබ්ව තිබුණු . විශේෂයෙන්ම අප උතුම් නම් පරිසරය සුරක්ෂිත කිරීමට දායක වීම මිනිසකු ලෙස සිදුකරන උතුම් කාර්යයන් හි ප්‍රධානතම කාර්යය බවට පත්වන්නේ ය. එමෙන්ම එය දැන් නම් එය අතිශය ප්‍රායෝගික විය යුතුම ය. සමුළුවේ ඡයාරූප එකතුව පහතින් දක්වා ඇත.


















හැත්තෑ එක්වන නිදහස් දින අනුරාධපුර දිස්ත්‍රික් සැමරුම් උත්සවය


හැත්තෑ එක්වන ජාතික නිදහස් දිනයට සමගාමී අනුරාධපුර දිස්ත්‍රික් සැමරුම් උත්සවය අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු චන්දිම ගමගේ මහතා ගේ හා අනුරාධපුර මහ දිසාපති නීතීඥ ආර්. එම් . වන්නිනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. භේරි නාද මධ්‍යයේ පැමිණි ආරාධිත අමුත්තන් ගෞරවාන්විතව පිළිගැණිනි. ජාතික ධජය එසවීමෙන් හා ජාතික ගීය ගායනයෙන් අනතුරුව රණවිරුවන් ඇතුළුව දේශය වෙනුවන් දිවි කැප කල සියළු දෙනා සැමරීම සඳහා විනාඩි 02 ක නිශ්ශබ්ධතාවයක් ආරක්ෂා කිරීම සිදුවිය. ඉන් පසු ත්‍රිවිධ හමුදාවේ, පොලීසියේ, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ හා පාසල් දරුවන්ගේ ආචාර පෙළපාලිය ආරම්භ කරන ලදි. ප්‍රධාන පීඨිකාවක සිට ආරාධිත අමුත්තන් ආචාර පෙළපාලිය පිළිගනු ලැබීය.















සර්ව ආගමික වතාවත් පැවැත්වීමෙන් අනතුරුව උත්සවයේ පිළිගැනීමේ කතාව අනුරාධපුර මහ දිසාපති නීතීඥ ආර්.එම්.වන්නිනායක මහතා විසින් සිදු කල අතර, අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලය , විවේකානන්ද දෙමළ විද්‍යාලය හා සහිරා විද්‍යාලය නියෝජනය කරමින් සහභාගි වු ශිෂ්‍යාවන් විසින් සිංහල, දෙමළ හා ඉංග්‍රීසි  මාධ්‍යයෙන් පැවැත් වු නිදහස තේමාකර ගත් කථා උත්සවය සඳහා සහභාගී වු සැමගේ පැසසුමට ලක් විය.  








ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ පාර්ලිමේන්තු මන්ත්‍රී  ගරු චන්දිම ගමගේ මහතා කතා කලේ ඉන් අනතුරුවයි. විදේශිකයින් ගෙන් බේරාගත් රට සංවර්ධනාත්මකව ඉදිරියට ගෙනයාමට අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීමට පූර්ණ සහාය සියල්ලන්ගෙන් ම ලැබිය යුතු බව සිහිපත් කළ එතුමා , මෙම උත්සවය සාර්ථකව සංවිධානය කිරීම පිළිබඳව උතුරුමැද පලාත් ලේකම් තුමාට හා අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්වතුමාටත්, එම කාර්යාලයන් හි මේ සඳහා සහාය ලබා දුන්  නිධාරීන්ටත් ස්තුතිය පළකලේ ය. ඉන් අනතුරුව උත්සවය සඳහා සහභාගි වු පාසැල් දරු දැරියන් සඳහා ත්‍යාග පිරිනැමීම සිදුවිය.






කේ.බී.රත්නායක විද්‍යාලයේ හා ශාන්ත ජෝශප් විද්‍යලයේ දරු දැරියන් විසින් ඉදිරිපත් කල විශේෂ සංදර්ශනවලින් අනතුරුව ජාතික ගීය දෙමළ බසින් ගායනා කිරීම සිදුවිය. ගාම්භිරවත් රටක නිදහසේ අභිමානය රැක ගැනීමේ අපෙක්ෂාව පෙරදැරි කරගෙන පැවති හැත්තෑ එක්වන නිදහස් දින අනුරාධපුර දිස්ත්‍රික් සැමරුම් උත්සවය එතකින් නිමාවට පත්විය. 














හොරොව්පතාන , අඹගස්වැව දහම් සිසිලෙන් ඇළලෙයි

*
හොරොව්පතාන , අඹගස්වැව රජ මහා විහාරයට ඊයේ (17) ඓතිහාසික දිනයක් විය. දශක කිහිපයකට පසුව ප්‍රතිසංස්කරණය කළ චෛත්‍යට කොත් පැළඳවීමේ පිංකම හා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ගේ අංකුරයක් රෝපණය කිරීම ඊට හේතුව යි. සැදැහැති ජනයා රැස් කමින් විහාර භූමියට පැමිණියේ සිය විහාරස්ථානයට මෙන්ම ගම්මානයට ලැබුණු මේ ගුණාභරණයන් දැක බලා ගැනීමේ මා හැඟ උනන්දුව සමඟිනි. අනතුරුව සියල්ල පූර්ණ වූ උත්සවයකි.

අනුරාධපුර මහ දිසාපති ආර්.එම් .වන්නිනායක මහතා මීට වසරකට පෙර පුවතපතක් කියවද්දී අඹගස්වැව පුරාණ රජ මහා විහාරයේ ගරා වැටෙමින් ඇති දැගැබක් පිළිබඳ පුවත දුටුවේ ය. සැනින් ක්‍රියාත්මක වූ එතුමා දිස්ත්‍රික් මාධ්‍ය ඒකකයට දැනුම් දුන්නේ මෙය මධ්‍යම සංස්කෘතික අරමුදලට දැනුම් දිය යුතු බවයි. එලෙස ඇරඹි කටයුත්ත අති සාර්ථක ගමනක් පැමිණියේ කාගේත් උනන්දුව මත යි. මධ්‍යම සංස්කෘතික අරමුදලේ නිලධාරීන් මේ සඳහා කළ කැප කිරීම අතිශය අගය කීරීම වැදගත් වේ.

ත්‍රස්ත තර්ජන වලට කලක් තිස්සේ මුහුණ දුන් අඹගස්වැව ජනයා එයින් දැඩි පීඩා වින්ද හ. එහෙත් මෙම විහාරස්ථානයේ වැඩ විසූ පූජ්‍ය අඹගස්වැවේ ඉන්දරතන නායක හිමිපාණන් මේ ජනයා හැර ගියේ නැත. ඉතා අවංකවත් , ජනතා හිතකාමීවත් ධෛර්යයෙන් කටයුතු කර තිබේ. උන්වහන්සේ ගේ අධිෂ්ඨන බලයේ ප්‍රතිඵල වර්තමනාය වන විට ලැබී තිබෙන්නේ සතරපේරුවේ ජනතාවටයි. එම ජනී ජනයා ඉන්දරතන නායක හිමියන්ට දක්වන ගෞරවයේ තරමින් ම ඒ බැව් සනාථ වේ.

ආරම්භ කළේ චෛත්‍ය ප්‍රතිසංස්කරණ කටයුත පමණි. නමුත් වැඩ අවසන් වන විට අලුතින් ධර්ම ශාලාවක් ද ඉදිවිණි. ඒ සඳහා ලක්ෂ විස්සක මුදලක් රජය වැය කර තිබේ. ශ්‍රී මහා බෝධින් වහන්සේ ගේ අංකුරයක් රෝපණය කිරීම ද අගනා වාසනාවකි.

සුබ නැකැතින් කොත් පැළඳවීමේ මංගල්‍යය ඇරඹිණි. ප්‍රබෝධයෙන් ඔද වැඩි බාල මහළු කවුරුත් නොනවත්වා සාදු නාද නැන්වී ය. ඒ සාදු නාද ද ,පිරිත් සජ්ඣායනා ද කැටුව නැගි අධ්‍යාත්ම සුවඳ බුද්ධාලම්භනය දෙගුණ තෙගුණ කළේ ය. අටමස්ථානාධිපති , උතුරු මධ්‍යම දෙදිසාවේ ප්‍රධාන සංඝනායක , ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නායක හිමිපාණන් වහන්සේගේ වැඩමවීම ඔස්සේ උත්සවය තවත් ආලෝකවත් විය. ලංකාරාමාධිකාරී උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන අධීකරණ සංඝනායක රළපනාවේ ධම්මජෝති නායක හිමියෝ කළ අනුශාසනය, අඹගස්වැව විහාරාධිපති පූජ්‍ය අඹගස්වැවේ ඉන්දරතන නායක හිමියන් පිළිබඳව තව තවත් දැනගන්නට මාවතක් විය. උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය නුගේතැන්නේ පඤ්ඤානන්ද හිමියෝ මෙන්ම අටමස්ථාන විහාර වාසි නායක හිමියෝ ද ඇතුළු මහා සංඝරත්නයේ ආශිර්වාද මැද කොත් පැළඳවී ය.

පසුව ශ්‍රී මහා බෝධීන් වහන්සේ ගේ අංකුරය රෝපණය කරන ලද්දේ අටමස්ථානාධිපති නායක හිමියන්ගේ මූලිකත්වයෙනි. මෙම පුණ්‍ය කටයුතු සම්භාරයෙහි ආරම්භක අඩිතාලම දැමූ අනුරාධපුර මහ දිසාපති ආර්.එම්. වන්නිනායක මහතා , මධ්‍යම සංස්කෘතික අරමුදලේ උතුරුමැද පලාත් සහකාර අධ්‍යක්ෂ නීතීඥ සජීව ගුණරත්න , යන මහත්වරුන් මෙන්ම මධ්‍යම සංස්කෘතික අරමුදලේ තවත් නිලධාරීන් රැසක් මේ අවස්ථාවට එක් විය.

දිසාපතිතුමා ගෙන් පටන් ගෙන බෞද්ධ කටයුතු සමායෝජක දක්වා විවිධ නිලධාරීන්ගේ කැප කිරීමත් , මහා සංඝරත්නයේ ආශිර්වාදයත් පෙරටුව දැන් හොරොව්පතාන අඹගස්වැව ජනතාවට අධ්‍යාත්මයේ නව එළි දැල්වී තිබේ. ඒ සතුට සතරපේරුවේ ජනයාට පමණක් නොව උත්සවයට එක් වූ සියලු පාර්ශවයන්ගේ මුහුණු මත පිපී තිබිණි.

සියල්ල නිසිව හදුනා ගනිමින් , නිසි අය එක්කාසු වෙමින් , අරමුණු පෙර දැරිව කටයුතු කිරීම ඔස්සේ කල් නෑර සියල්ල ජය ගත හැකි බව මේ පුණ්‍ය උත්සවය ඔස්සේ ආදර්ශවත්ව සමාජයට සැලකර තිබේ. එනයින් මෙය සැමට පූර්වාදර්ශයක් වේවා.